තැන තැන ඇරඹි බිග්මැච් උණුසුම

202

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග පිටියට තවත් කාර්යබහුල සති අන්තයක් උදා කරමින් අදත් (31) දිවයිනේ විවිධ ප්‍රදේශවල දී තරග කිහිපක් ම ආරම්භ වුනා.

ආරම්භ වූ තරග අතරින් වඩාත් කතාබහට ලක් වූයේ 74 වැනි ඌව සටනයි. එහි දී පළමු දිනයේ ම කඩුලු 22ක් දැවී යෑම විශේෂත්වයක්.

ඊට අමතර ව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ රුක්ෂාන් දේවින්ද ප්‍රතිවාදී මාතර රාහුලයන්ගේ කඩුලු 6ක් දවා ගැනීමට සමත් වීමත් කැපී පෙනුණා.

විද්‍යාර්ථ විද්‍යාලයේ ශාමල් ප්‍රියභාෂණ සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සෙතික දිල්මිත් අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුනා.

මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල – 12 වැනි රන් සිංහයන්ගේ සටන

මාතර උයන්වත්වත්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාහුල විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසියා. එම තීරණය අභියෝගයට ලක් කළ සංචාරක ක්‍රීඩකයෝ සත්කාරක ක්‍රීඩකයන්ගේ පළමු ඉනිම ලකුණු 156කට සීමා කළා.

එහි දී වැඩි වැඩ කොටසක් කළේ රුක්ෂාන් දේවින්ද. ඔහු අවසන් කඩුලු ත්‍රිත්වය එකඳු ලකුණක් හෝ ලබා නොදෙමින් පන්දු 4ක් තුළ දවා ගැනීමට සමත් වුනා. ඔහු ප්‍රතිවාදී ඉනිම අවසන් කරන විට පන්දුවාර 26.4ක් යවමින් නිලකුණු පන්දුවාර 10ක් ද සමඟින් ලකුණු 39කට කඩුලු 6ක් දවා ගත්තා.

රාහුල විද්‍යාලය වෙනුවෙන් සසිඳු බැට්ටගේ පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත් අතර එය එම ඉනිමේ ඉහළ ම දක්ෂතාව වුනා. ඊට අමතර ව රිසිනු ගීනුක පන්දු 112කට මුහුණ දෙමින් ලකුණු 37ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් එක් කළා.

තරගය පළමු දිනයට නතර කරන විට ධර්මපාල විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.

  • රාහුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (71.4) දිල්මිත් ලක්තරණ 27, සසිනු බැට්ටගේ 46, රිසිනු ගීනුක 37, ඉමෙත් මනම්පේරි 22, චිතුම් බැද්දගේ 2/31, රුක්ෂාන් දේවින්ද 6/39
  • ධර්මපාල විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 5 (3)

ඌව සහ ධර්මදූත – 74 වැනි ඌව සටන

බදුල්ල ඌව විද්‍යාලය සහ ධර්මදූත විද්‍යාලය අතර බදුල්ලේ දී ආරම්භ වූ මෙම තරගයේ දී පළමු දිනයේ ම කඩුලු 22ක් දැවී යෑම විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනා ගත් ඌව විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 142ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ධර්මදූත ක්‍රීඩකයෝ සියලුම දෙනා ලකුණු 108කට දැවී ගියා. ලකුණු 34ක් අතැතිව තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ඌව විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 25ක් ලබා සිටියා.

  • ඌව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (39.4) කුශාන් හර්ෂණ 25, රෝචන හිරුෂික 26, දිමුත් සාලින්ද 25, අයේෂ් ගජනායක 2/28, විනුත් තිසරක 3/18, දිනෙත් විජේසූරිය 2/32, පසන් රත්නායක 2/29
  • ධර්මදූත විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 108 (38.2) දිනෙත් හිරුෂාන් 39, අයේෂ් ගජනායක 14, රෝචන හිරුෂික 2/30, කුශාන් හර්ෂණ 3/30, මොහොමඩ් රිෆ්කාන් 3/04
  • ඌව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 25 (13)

ශ්‍රී ඤාණිස්සර සහ රාජපක්ෂ – 4 වැනි සුමිතුරන්ගේ සටන

අලුත්ගම ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලය සහ අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලය අතර අලුත්ගම දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් රාජපක්ෂ ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ඤාණිස්සර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 145ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු තරුෂ අංජන පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත් අතර මෙනුජ සන්සුත පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී රාජපක්ෂ විද්‍යාලයීය නායක හසන් නදීමාල් ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූවා.

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 112ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක්වූ විහඟ ඉඳුවර පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.

ඊට අමතර ව හිම්සර සාවින්ද පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

රාජපක්ෂ ඉනිම ආරම්භ කළ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සබඳතාවක් එක් කළා.

ශ්‍රී ඤාණිස්සර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (56.2) තරුෂ අංජන 29, මෙනුජ සන්තුස 28, සහන් නදිමාල් 5/28, විහඟ ඉඳුවර 2/19

රාජපක්ෂ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 112 (33) හිම්සර සාවින්ද 34, විහඟ ඉඳුවර 55, තිසර කාවින්ද 2/19

සාන්ත සිල්වෙස්තර සහ විද්‍යාර්ථ63 වැනි සුරතලුන්ගේ සටන

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගැනීමට විද්‍යාර්ථ විද්‍යාලයීය නායකයා සමත් වුනා. ඒ අනුව පිටියට කැඳවූ ප්‍රතිවාදී සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ ලකුණු 94කට සීමා කිරීමට ඔවුන් සමත් වුනා.

එහි දී ලකුණු 13කට කඩුලු 5ක් දවා ගැනීමට අනුජ රත්නායක සමත් වීම කැපී පෙනුණා. ඊට අමතරව ආදිත්‍ය බණ්ඩාර කඩුලු 2ක් ද, අනිශ්ක ගුණරත්න සහ චමල්ක බණ්ඩාර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

සාන්ත සිල්වෙස්තර ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු නායක මලිත් ලක්ෂාන් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි විද්‍යාර්ථ ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ශාමල් ප්‍රියභාෂණ පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා සිටිනවා.

ඊට අමතර ව දනුප කොඩිකාර පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 77ක්.

කඩුලු ලබා ගැනීමේ දී නිමේෂ් සිල්වා ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත්තා.

  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 94 (49) මලිත් ලක්ෂාන් 29, චාරුක අයේශාන් 19, ආදිත්‍ය බණ්ඩාර 2/21, අනුජ රත්නායක 5/13
  • විද්‍යාර්ථ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 148 (48) පුබුදු තාරක 22, දනුප කොඩිකාර 36, ශාමල් ප්‍රියභාෂණ නොදැවී 60, නිමේෂ් සිල්වා 3/38

පිළියන්දල සහ හොරණ තක්ෂිලා –  සල්පිටි – රයිගම් සටන

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 199ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් අගනා අර්ධ ශතකයක් ලබා ගැනීමට සෙතික දිල්මිත් සමත් වුනා. ඔහු පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා. ඊට අමතර ව සොනත් එනුක පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 63ක්.

පන්දු යැවීමේ දී දිමන්ත දිනුජය සහ සන්විඳු දිසානායක කඩුලු 3 බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තක්ෂිලා ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 36ක් ලබා සිටියා.

  • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (76.3) කුශ්මික ආටිගල 19, අශේන් රොද්‍රිගෝ 28, සෙතික දිල්මිත් 68, සොනත් එනුක 32, අශාන් තත්සර 20, දිමන්ත දිනුජය 3/35, සන්විඳු දිසානායක 3/67
  • තක්ෂිලා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 36 (21) සන්දිත් රණවීර නොදැවී 14, චමෝද් මිහිරාන් නොදැවී 16, ගනිඳු විජේකෝන් 2/09

මෙම තරග සියල්ල ම හෙට (25) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. සියලු තරගවල අවසන් දිනයේ විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<