පාපන්දු ලෝක කුසලානයට පෙර එන වීදි දරුවන්ගේ ලෝක කුසලානය

220

ජගත් පාපන්දු සම්මේලනය විසින් මැද පෙරදිග රටක පවත්වනු ලබන ප්‍රථම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර් දේශයේ ආරම්භ වීමට මාසයකට පෙර ‘වීදියේ ළමයින්ගේ ලෝක පාපන්දු කුසලානය‘ට දායකත්වය සැපයීමට දෝහා අගනුවර දැන් සූදානම්ව සිටිනවා.

කටාර් දේශය ද ඇතුළුව රටවල් 24කින් බාලක සහ බාලිකා කණ්ඩායම් 28ක් සහභාගි වන මේ තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට දින 11ක් තිස්‍සේ Education City නගරයේ Oxygen Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 20 වැනිදා ආරම්භ වීමට නියමිත කටාර් 2022 ලෝක කුසලාන තරගාවලියේ තරග ක්‍රීඩා කෙරෙන ක්‍රීඩාංගණ 8න් එක් ඉසව්වක් වන Education City ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේත් මේ නගරයේ.

ලොව පුරා විහිදී සිටින වීදි දරුවන් බලගැන්වීම සහ ඔවුන් පාපන්දු තරගාවලියක් සඳහා සහභාගි කර වීම මේ තරගාවලියේ අරමුණයි. ලෝකය පුරා සිටින අවදානමට ලක්විය හැකි, මංමාවත්වල දිවි ගෙවන ළමයින්ට ඔවුන්ගේ රටවල් නියෝජනය කරමින් තමා ද වැදගතෙක් බව ලොවට හඬගා කියන්නට මේ තරගාවලිය මගින් අවස්ථාව උදා වෙයි.

මාවතේ ජීවිතේ කර ගත් ළමයින් මුහුණ දෙන කවුරුත් දන්නා අපකීර්තිය පිළිබඳව ලෝකය දැනුවත් කරමින්, ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීම සඳහා පාපන්දු ක්‍රීඩාවේ බලය යොදා ගැනීම ‘වීදියේ දරුවා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය‘ මගින් සිදු කරනු ලබන ප්‍රධානතම කාර්යයයි.

ලෝක ව්‍යාප්ත මෙවැනි ළමයින් වඩාත් හොඳින් ආරක්ෂා කර ඔවුන්ට ගෞරවයක් ලබා දී ඔවුන්ගේ ජීවිත සාර්ථකව ගොඩනගා ගැනීම සඳහා රටවල්, රජයන් සහ ප්‍රජාවන් පොලඹවා ගැනීම මෙහි ඉලක්කය වී තිබෙනවා.

‘වීදියේ දරුවන්ගේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය‘ මේ වසරේ පැවැත්වෙන්නේ සිව්වැනි වතාවට. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආශ්‍රිතව පැවැත්වෙන මේ තරගාවලිය පළමු වතාවට පැවතියේ 2010 වසරේ දකුණු අප්‍රිකාවේ දී. අනතුරුව එය 2014 වසරේ බ්‍රසීලයේ දීත්, 2018 වසරේ රුසියාවේ දීත් පවත්වා තිබෙනවා.

ගෙවුණු වසර කිහිපයේ නොයෙකුත් අමිහිරි සිදුවීම්වලට මුහුණ දුන් ලෝකයට ධනාත්මක, වැදගත් සහ වික්‍රමාන්විත කතාන්දර අවශ්‍ය වී ඇති බවත්, වීදි දරුවන්ගේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මේ සෑම කතාවක් ම බහුලව සපයන බවත් ‘වීදියේ දරුවා එක්සත් සංවිධානයේ‘ ප්‍රධාන විධායක නිලධාරියා මෙන් ම එහි සම නිර්මාතෘවරයා ද වන John Wroe පවසනවා.

“2008 වසරේ දී ඇන්ඩයිල් නමැති වීදියේ ජීවත් වන පිරිමි ළමයෙක් මට හම්බවුනා. ඔහු පාරේ ඉන්නවා දැක්කම ජනතාව ඔහු වීදියේ ළමයෙක් ලෙසටත්, ඔහු පාපන්දු ක්‍රීඩා කරනවා දුටුවම ජනතාව ඔහු පුද්ගලයෙක් ලෙසටත්ට හඳුන්වන බව ඔහු මට කීවා. වීදියේ සිටින දරුවන් වෙනුවෙන් වෙනසක් ඇති කිරීමට අපට උවමනා වුනා. එය කළ හැකි හොඳම මාර්ගය ඒ ළමයින් වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීම බව අපට වැටහුණා,“ යැයි Wroe කියනවා.

පසුගිය අවුරුදු දොළහ හරියට සුරංගනා කතාවක් වගෙයි. අපි කණ්ඩායම් 8 සිට 28 දක්වා ඉහළට ඇවිත් තියෙනවා. නොයෙකුත් රටවල අප ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සියල්ල දැන් ශක්තිමත්ව තිබෙනවා.“

2010 වසරේ දී පැවති මංගල තරගාවලියට සහභාගි වී එයට ක්‍රීඩා කිරීමට ලැබීම තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වූ බව ටැන්සානියාවේ සේඩොක් ජෝන් පවසනවා.

වීදිවල හැදී වැඩෙමින් ගෙවල් බිඳින නොයෙකුත් කල්ලිවල සාමාජිකයෙකුව සිටි ජෝන් දුටුවේ සිත්කලකිරවන අනාගතයක්. දිනෙක ජාත්‍යන්තර වේදිකාවේ තමාගේ රට නියෝජනය කිරීමට හැකි වේවි යැයි ඔහු කිසිදිනෙක සිතුවේ නැහැ.

වීදියේ කල් ගෙවනවාට වඩා වැඩි දෙයක් ජීවිතය තුළ තිබෙන බව මට කියා දුන්නේ පාපන්දු ක්‍රීඩාවයි. මම පාරට වැටුණු හැටිත්, එතැනින් නැගිට්ට හැටිත් කියැවෙන මගේ කතාව අනෙක් අයත් එක්ක බෙදා ගන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ,“ ජෝන් කියයි.

වීදියේ දරුවෙකු වීම ජීවන චාරිකාවේ අවසානය නෙවෙයි. තමන්ට උවමනා දේ ගැන අවධානය යොමු කළොත් වීදියෙන් මිදෙන්න පුළුවනි. මට නම් එදා ඒ අවස්ථාව ලබා දුන්නේ පාපන්දු ක්‍රීඩාවයි.“

මම ලෝක කුසලාන තරගාවලිය අවසන් වී පැමිණි මාව මගේ ප්‍රජාව පිලිගත්තේ වීරයෙක් ලෙසටයි. මේ තරගාවලියෙන් පසු මගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. මාව තවදුරටත් වීදියේ දරුවෙක් කියා හැඳින්වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මාව දුටුවේ ආදර්ශමත් චරිතයක් ලෙස. තමන්ගේ දරුවන් එක්ක මම ළඟින් ඇසුරු කරනවා දකින්න අනෙක් මව්පියන්ට ඕන වුනා. ඔවුන්ගේ උවමනාව වුනේ මගේ අත්දැකීම් ගැන මම එයාලගෙ දරුවන්ට කියා දෙනවා දකින්නයි.“

වීදියේ ළමයින්ගේ එක්සත් සංවිධානය මට ලබා දුන් මේ අවස්ථාව නිසා මමත් දැන් වැදගත් පුද්ගලයෙක් කියා මට දැනෙනවා!“

රියෝ නගරයේ ප්‍රජාවක් වෙත යාමට පෙර උතුරු බ්‍රසීලයේ හැදී වැඩුණු ඩ්‍රීකා, පාපන්දු ක්‍රීඩාව සහ 2014 වීදියේ ළමයින්ගේ ලෝක කුසලාන තරගාවලියේ සිය අත්දැකීම් හඳුන්වන්නේ ජීවිතය වෙනස් කළ දෙයක් ලෙසින්.

මගේ ජීවිතය වෙනස් කළේ පාපන්දු ක්‍රීඩාවයි!“ ඩ්‍රීකා පවසනවා. “ලෝක කුසලානයේ කොටස්කරුවෙක් වීමට පෙර මට හිතුණේ මමත්, වයස අවුරුදු පහළොවේ දී දරුවෙක් ඉන්න, විවාහ වී ගෙදරට වෙලා ඉන්න සමාජයේ අනෙක් සාමාන්‍ය කෙල්ලෙක් කියලයි.“

නමුත් ලෝක කුසලාන තරගාවලියේ දීත් ඉන්පසුවත් මට නොයෙකුත් තැන්වල මිනිසුන් හමුවුනා. එයින් මගේ මනස විවෘත වුනා. මට එතැනට යන්න පුළුවන් නම් මට ඊටත් වඩා වැඩි දෙයක් කරන්න පුළුවන් වේවි කියලා මට හිතුණා. ලෝකය කොච්චර විශාල ද කියනවා නම් මම ප්‍රජාව ඇතුලේ පමණක් කොටුවෙලා ඉන්නේ ඇයි කියා මට හිතුණා.“

මම ලෝක කුසලාන තරගාවලියක මගේ රට නියෝජනය කරනු ඇති කියා මම කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ. මොකද, මම ආවේ පුංචි ගමකින් නිසා. එය සිහිනයක් සැබෑවීමක්.“

වීදියේ දරුවා එක්සත් සංවිධානයට අනුව හංගේරියාවේ සරණාගත කණ්ඩායමක් සහ පලස්තීනයෙන් බාලිකා කණ්ඩායමක් ද ඇතුළුව කණ්ඩායම් 10ක් වීදියේ ළමයින්ගේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට මෙවර සහභාගි වන්නේ ප්‍රථම වතාවට.

මේ තරගාවලියේ දීර්ඝ කාලීන ඉලක්කය වනුයේ ලෝකයේ ඕනෑම ස්ථානයක ළමයින් වීදිවල ජීවත් වීම අවසන් කිරීම බව Wroe සඳහන් කරයි.

එය එක් රැයකින් සිදු වන්නේ නැහැ. නමුත් මේ තරුණ පුද්ගලයන්ට වැදගත් වන සැලකිය යුතු වෙනසක් අපි මේ කාරණාවල දී දැක තියෙනවා. වෙනත් ඕනෑම තරුණ පුද්ගලයෙකුට තිබෙන අභිලාෂයන් සහ හැකියාවන් ඒ හා සමානවම මේ තරුණ පුද්ගලයන්ටත් තිබෙන බව මම දැඩිව විශ්වාස කරනවා. ප්‍රශ්නය වී තිබෙන්නේ ඔවුන්ට ඒ අවස්ථාවන් උදා නොවීමයි. ඕනෑම දෙයක් සාර්ථකව ඉටු කර ගත හැකි බවට ඔවුන් තුළ විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා උපකාර කරන්න අපි ක්‍රියා කළොත්, ඔවුන් එය ඉෂ්ට කර ගනීවි!“

වීදි දරුවන්ගේ පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 2019 ජගත් ක්‍රිකට් කවුන්සල ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්තයේ ලන්ඩන් සහ කේම්බ්‍රිජ් නගරවල පැවැත්වුනා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<