නවසීලන්ත පුහුණුකරුට තවත් වසර තුනක්

170

නවසීලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දැනට කටයුතු කරන ගැරී ස්ටෙඩ් මහතාගේ ගිවිසුම්ගත කාලය 2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ අවසානය දක්වා දීර්ඝ කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. 

“මෙවර IPL තරගාවලිය නිසැකවම රූපවාහිනී වාර්තා බිඳ දමනවා”

මේ වන විට වයස අවුරුදු 48ක් වන ගැරී ස්ටෙඩ් මහතා 2018 වසරේ අගෝස්තු මාසයේ දී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩකටයුතු ආරම්භ කළේය. ඊට පෙර නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මයික් හෙසන් මහතා ඔහුගේ ගිවිසුම් ගත කාලය අවසන් වීමට වසරකට පෙර සිය තනතුරෙන් ඉල්ලා අස්වීම නිසාවෙන් 2018 වසරේ අගෝස්තු මාසයේ සිට එම පුරප්පාඩුව පිරවීමට ස්ටෙඩ් මහතා සමඟ ගිවිසුම්ගත වීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කළේය. 

පසුව ස්ටෙඩ් මහතා පුහුණුකාරීත්වය ලබාගෙන මාස 11කට පසුව එනම් 2019 වසරේ දී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණ තියුණු සටනක් ලබා දීමට නවසීලන්තය සමත් වුවත් අවාසනාවන්ත ලෙස ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

ලෝක කුසලාන අනුශූරතාවයට අමතරව පාකිස්තානය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම, ශ්‍රී ලංකාව සමඟ ශ්‍රී ලංකාව තුළදී පැවති ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීම ඇතුළු ඉහළ පෙළේ දස්කම් රැසක් පෙන්නුම් කිරීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. 

ඔවුන් මේ වන විට ICC ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන ස්ථානයේත්, එක්දින සහ විස්සයි විස්ස වර්ගීකරණය තුළ පිළිවෙලින් තෙවන සහ හයවන ස්ථානයන් දිනාගෙන සිටියි. එසේම ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහන තුළ නවසීලන්ත කණ්ඩායම සිව්වැනි ස්ථානයේ පසුවෙයි. 

චෙන්නායි පිලෙන් ධනාත්මක පුවතක්

එසේම ස්ටෙඩ් මහතා නවසීලන්ත ක්‍රීඩකයින් සමඟ ඉතාමත් සුහදව සහ සමීපව කටයුතු කිරීම ද ස්ටෙඩ් මහතාගේ ධුර කාලය තවත් වසර තුනකින් දීර්ඝ කිරීම සඳහා හේතුවී ඇත. 

“මාව නැවතත් නවසීලන්ත පුහුණුකරු ලෙස තෝරා පත්කර ගැනීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඉදිරියේ දී අපිට ගොඩාක් වටිනා තරගාවලි කිහිපයක් තිබෙනවා. ඒ තරගාවලි ක්‍රීඩා කරනකන් මම වගේම අපේ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයිනුත් ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.” යැයි ස්ටෙඩ් මහතා පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<