“මට එංගලන්තයේ දී ශතකයක් වාර්තා කරන්න ඕන”

275
Rosten Chase

ආබාධයකින් පීඩා විඳිමින් වුනත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රෝස්ටන් චේස් හට එළඹෙන සති කිහිපයේ දී එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආචර් හට මුහුණ දීමට සිදු වෙනවා. ඒ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ජූලි මස මුලදී ආරම්භ වීමට ඇති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දීයි. 

සචින්ගේ පිත්තෙන් පන්නරය ලැබූ නවක ඉන්දීය තරුව

“ඔහු සචින් තෙන්දුල්කාර්ගේ හා විරේන්ද්‍ර ශෙවාග්ගේ එකතුවක්!” බ්‍රයන් ලාරා ඉන්දීය නවක.

මීට වසර පහකට පෙර චේස් හා ආචර් යන දෙදෙනාම සසෙක්ස් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කර තිබෙනවා. චේස් කුක්ෆීල්ඩ් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පෙර බාබඩෝස් කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග ක්‍රීඩා කර තිබුණු අතර ඔහු මයිකල් ක්ලාක්ගේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් සභාපතිගේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් අර්ධ ශතක දෙකක් ද රැස් කරගෙන තිබුණා.

චේස්ට වඩා වසර තුනක් බාල ආචර් සසෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්නට වසරකට පෙර Middleton-on-Sea කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. එම කණ්ඩායමට ක්‍රීඩා කරද්දී 2015 ජූලි මාසයේ Middleton-on-Sea ක්‍රීඩාංගණයේ දී රෝස්ටන් චේස් දවා ගන්නට ද ආචර් සමත්ව තිබෙනවා. “මට මතකයි අපි ජෝෆ්රාට එරෙහිව ක්‍රීඩා කළ තරගය” චේස් පවසා සිටියා. “ඔහු කඩුලු පහක් දවා ගත්තා. ඔහු මාවත් දවා ගත්තා.”

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන් කුක්ෆීල්ඩ් කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට ආචර් සමත් වුනා. ඔහු ලකුණු අටකට කඩුලු පහක් දවා ගත්තේ චේස් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ක්‍රීඩාගාරයට හරවා යවමින්. කෙසේ වෙතත් පන්දුවාර හයකට පසුව ආචර් ආබාධයකට ලක්ව තිබෙනවා. “අපිට වැඩ ලෙහෙසි වුනා” චේස් පවසා සිටියා. “අපි ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තරගය ජය ගත්තා.”

“මම ඒ වෙනකොටත් ජෝෆ්රා දැන සිටියා. මම ඔහුට එරෙහිව බාබඩෝස් හිදී ක්‍රීඩා කර තිබුණා. එතකොට ඔහු ගොඩක් ළාබාලයි. ඔහු ක්‍රීඩා කළේ බාබඩෝස් යොවුන් ඒකාබද්ධ පාසල් කණ්ඩායමට. ඔහු ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක් වුනත් ඒ කාලයේ ඔහුට මෙතරම් වේගයක් තිබුණේ නැහැ.”

කුක්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් චේස් තරග 14ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු එහි දී ලකුණු 25කට ආසන්න සාමාන්‍යයක් රඳවා ගෙන තිබෙනවා. සසෙක්ස් හිදී ඔහු අර්ධ ශතක හතරක් රැස් කරගෙන ඇති අතර ඒ කාලය තුළ තමා බොහෝ දේ උගත් බව චේස් පවසා සිටියා. 

“ඒක ලේසි වුනේ නැහැ. තණතිලි ඉතා අපහසු වූ නිසා මට ගොඩක් ලකුණු රැස් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ. කොහොම වුනත් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන්නට මට ඒ අත්දැකීම ඉතා වැදගත් වුනා. දක්ෂතාව වැඩි දියුණු කරගන්න නොවෙයි, මගේ මානසික මට්ටම වැඩි දියුණු කර ගන්න.”

“මම එහෙ තනියම හිටියේ. එහි හිටිය ඔක්කොම අය මාත් එක්ක සම්බන්ධතා පැවැත්වූයේ ක්‍රීඩා පිටියේ දී විතරයි. අනෙක් වෙලාවට කණ්ඩායමේ මගේ සගයින් කාර්ය බහුලයි. මම තනියම මට පුළුවන් උපරිමය කරන්නට උත්සහ කළා. ක්‍රීඩකයෙක් විදිහට මගේ මානසික ශක්තිය වැඩි දියුණු කරගන්න ඒක ඉතා වැදගත් වුනා.” ඊට වසරකට පසුව චේස් ඉන්දියාවට එරෙහිව ඇන්ටිගුවා හිදී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළා.

දැන් තරග 32ක් ක්‍රීඩා කර ඇති චේස්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. අවසන් වරට ඔහු එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තරගාවලියේ සුන්දර මතකයන් ද ඔහු සතුව තිබෙනවා. කැරිබියන් දූපත්වල පසුගිය වසරේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ දී චේස් අර්ධ ශතකයක් වාර්තා කළා. පසුව එංගලන්ත දෙවන ඉනිමේ ලකුණ 60කට කඩුලු අටක් දවා ගත් ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 381ක දැවැන්ත ජයක් හිමි කර දීමට මූලික වුනා.

“ඒක හරිම සුන්දර මතකයක්” චේස් පවසා සිටියා. “ඒක හොඳ තරගාවලියක්. මම ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගය ඒක. ඒ ලබාගත්ත ආරම්භයෙන් තමයි අපි තරගාවලියම ජය ගත්තේ.”

චේස්ගේ දඟපන්දු යැවීම පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ට වඩා ඉතා ඉහළින් තිබෙනවා. පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන චේස් පවසා සිටින්නේ කණ්ඩායමේ හොඳම දඟපන්දු යවන්නා රහීම් කෝන්වෙල් බවයි. “මුලදී එංගලන්ත පිතිකරුවන් මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. නමුත් පසුව ඔහු මා වෙත හොඳ අවධානයක් යොමු කරලා පිතිකරණයේ යෙදුණා.” එම තරගාවලියේ පළමු තරගයෙන් පසුව චේස් එම තරගාවලියේ යළිත් එකදු කඩුල්ලක් වත් දවා ගත්තේ නැහැ.

අයර්ලන්ත ආරම්භක පිතිකරුවාට උසස් වීමක්

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු Paul Stirling කණ්ඩායමේ නිත්‍ය උපනායකයා බවට

මීළඟ මාසයේ පැවැත්වෙන එංගලන්ත තරගාවලියේ දී ඔහුගේ ප්‍රධානතම වගකීම පන්දු යැවීම නොව පිතිකරණයයි. ශිම්රන් හෙට්මයර් හා බ්‍රාවෝ නොමැති වීම නිසා ඔහුට පිතිකරණ ලැයිස්තුවේ ඉහළට පැමිණ පිතිකරණයේ යෙදීමට සිදු වනු ඇත. කොහේ පිතිකරණයේ යෙදුනත් චේස්ට ඇති ප්‍රධානතම අභියෝගය ඔහුගේ අසාර්ථක පැරණි ලකුණු වාර්තාවන් සාර්ථක වාර්තා බවට පත් කර ගැනීමයි. ශාන්ත ලුසියා හිදී ඔහු එංගලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කර ගත්තත් ඔහුගේ අවසන් ටෙස්ට් තරග අටේ දී සාමාන්‍ය දැක්වෙන්නේ ලකුණු 20ක් ලෙසයි. 

ඔහු පමණක් නොව බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් කිහිපදෙනෙක්ම ලකුණු හිඟයකින් පෙළෙනවා. ක්‍රෙග් බ්‍රාත්වෙයිට් හා ශායි හෝප් ද අවසානයට ක්‍රීඩා කළ තරග කිහිපයේ දී එතරම් සාර්ථක වී නැහැ. “අපේ පළමු පෙළ පිතිකරුවන් එතරම් සාර්ථක වුනේ නැහැ කියන්න පුළුවන්. නමුත් ගොඩක් අය ටෙස්ට් තරග 30කට වඩා ක්‍රීඩා කර තිබෙනවා. එම අත්දැකීම් තිබෙන නිසා ඔවුන් දන්නවා කොහොමද ලකුණු ගන්නේ කියලා.”

“අපි අපේ පිතිකරණය ගැන විශ්වාස කරන්න ඕනේ. එතකොට අපිට සාර්ථක වෙන්න පුළුවන්. අපි දන්නවා අපිට හැකියාව තියෙනවා කියලා වගේම ගොඩක් අය ශතක ගහලා තියෙනවා, ඒ නිසා අපිට මේ මට්ටමේ දස්කම් දක්වන්න පුළුවන් කියන එක පැහැදිලියි. අපි මනස හදා ගන්න තමයි ඕන.”

චේස් මේ වන විට ටෙස්ට් ශතක පහක් වාර්තා කරගෙන සිටිනවා. නමුත් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් එපිට වාර්තා වන්නේ ඉන් එක් ශතකයක් පමණයි. චේස් පවසා සිටින්නේ මේ තරගාවලියේ දී ශතකයක් වාර්තා කරන්නට අසමත් වුනොත් තමන් අසතුටු වන බවයි. “මට හැමවෙලාවේම අවශ්‍ය වුනේ එංගලන්තයේ දී ශතකයක් වාර්තා කරන්න. මම එංගලන්තයට එරෙහිව කැරිබියන් දූපත්වල දී ශතකයක් වාර්තා කළා නමුත් එංගලන්තයේ දී ම ශතකයක් වාර්තා කරන්නට ලැබුනොත් වටිනවා.”

Cricbuzz අසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<