1996 ලෝක කුසලාන ජය අරවින්දගේ ඇසින්!

391
Ross Kinnaird/Getty Images

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වන්න පුළුවන්. 1996 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය සහ අවසන් මහා තරගයේ වීරයා වූයේ අරවින්ද ද සිල්වා. පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් අසාමාන්‍ය දස්කම් දැක්වූ අරවින්ද තමාගේ චරිතාපදානයේ ලෝක කුසලානයේ අවසන් අදියර ගැන විස්තර කරන්නේ මේ ආකාරයෙන්.

ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ – ක්‍රිස් ගේල්

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරිය බව විවාදයකින් …..

කල්කටාව ගිණිගත් රැයක ශ්‍රී ලාංකිකයින් වීණා වයති.

“එදා ඉන්දියාව සමග අවසන් පූර්ව තරගය නරඹන්නට ලක්ෂයකට අධික ප්‍රේක්ෂක පිරිසක් ඊඩන් ගාඩ්න්ස් වෙත පැමිණ සිටියා. එය කණ්ඩායම් දෙකටම දැඩි පීඩනයක් කියන්නට අමුතුවෙන් අවශ්‍ය වුනේ නැහැ.

ඉන්දියානු නායක මොහොමඩ් අසරුඩීන් කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීම ශ්‍රී ලංකා කණ්ඩායමට බාර කළා. ඔහුගේ එම තීරණය පිටුපස සැබවින්ම තිබුණේ ශ්‍රී ලාංකික පිතිකරුවන් ලකුණු හඹායෑම කෙරෙහි දැක්වූ සමත්කම ගැන ප්‍රශ්නයක්.

තරගය ආරම්භ වී මොහොතක් යන්නට පෙර නරඹන්නන්ගෙන් විශාල ජයඝෝෂාවක් නැගුණා. අප කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් රොමේෂ් කළුවිතාරණ දැවී ගොසින්.

ඇත්තටම ඒ දිනවල තිබූ සැකැස්ම අනුව ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩක විවේකාගරයට පිටිය මැද සිදු වන දෙය පෙනෙන්නේ නැහැ. අනෙක් කාරණාව ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩක විවේකාගරයේ තිබූ රූපවාහිනීයත් එදා අක්‍රීය තත්ත්වයෙන් තිබුණේ.

මගේ මානසික ශක්තිය ආරක්ෂා කර ගැනීමට කොහොමත් ක්‍රීඩක විවේකාගරයේ පැත්තක හුදකලාව සිටීමට මා කැමැත්තක් දැක්වූවා. 

ඉතින් එදා ක්‍රීඩා පිටිය තුළ සිදුවන දෙය පිළිබඳව මට තිබුණේ අල්ප අවබෝධයක්.

මොහොතක් යන්නට පෙර තවත් එවැනි විශාල ජයඝෝෂාවක් නැගුණා. ඒ දිනවල සනත් ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය චරිතයක් නිසා මම හිතුවේ ඒ සනත් එල්ල කළ පහරකට ප්‍රේක්ෂකයින් ප්‍රතිචාර දක්වන්නට ඇති කියා.

 හරියටම එවෙලේ කවුරු නමුත් පැමිණ මට පැවසුවා පිතිහරඹයට යෑමට සූදානම් වන ලෙස. මොහොතකට පසුව මා දුටුවා සනත් ක්‍රීඩක විවේකාගරයට පැමිණෙන ආකාරය. 

හිතන්නට වැඩි කාලයක් තිබුණේ නැහැ. මා ඉතාම වේගයෙන් පිටිය මැදට ගියා. මෙම තරගයට පෙර මම තරමක අසනීප තත්වයකින් පසුවුණේ. නමුත් රට වෙනුවෙන් කිරීමට මට යුතුකමක් පැවරී තිබුණා.

ලෝක කුසලානයට පෙර තරගාවලි කිහිපයක දී මම ඉතා අසාර්ථක වුනා. බොහෝ දෙනෙකු මගේ ක්‍රීඩා රටාව විවේචනය කළා. ඔවුන් හැමටම පිළිතුරක් දිය හැකි හොඳම අවස්ථාව මෙය බව මට හැඟී ගියා.

ඒ වෙද්දී මගේ වයස අවුරුදු 30 ඉක්මවා ගොසින්. ලෝකයට මා කවුද කියා පෙන්වීමට තිබෙන කාලය වේගයෙන් ඉක්ම යමින් තිබුණේ. ඒ වෙනුවෙන් මෙතරම් විශාල අවස්ථාවක් හෝ වේදිකාවක් නැවත නොලැබෙන බව මා දැන සිටියා.

ක්‍රීඩකයින් වශයෙන් ඔබ ක්‍රීඩාවේ යෙදෙන්නේ මෙවන් මොහොතවල් සඳහාමයි. සිතේ තිබූ සියලු සැක සංකා ඉවතලා ඉතාම පැහැදිලි මනසකින් යුතුව මම ඉනිම ආරම්භ කළා.

මා බලාපොරොත්තු වූ පරිදිම දෙවන පන්දුවාරය යැවීම අනිල් කුම්බ්ලේ හට බාර වුනා. කුම්බ්ලේ එල්ල කළ මුල්ම පන්දුව තර්ඩ් මෑන් කලාපය හරහා හතරේ සීමාවට යවන්නට මට හැකියාවක් ලැබුණා. එය විශේෂ පහරක්. එවැනි පහරක් එල්ල වූ වහාම පිතිකරුවා පමණක් නොවේ පන්දු යවන්නා පවා දැන ගන්නවා අදාළ පිතිකරුවා කෙතරම් උසස් දස්කම් මාලාවක සහ රිද්මයක සිටිනවා ද යන්න.

ඉන්දියානු නායකයා සිය පන්දු යවන්නට උපදෙස් දී තිබුණේ පිට ඉන්නට ඈත එල්ලයකින් පන්දු යවන්නට. ඒ අනුව මට අභියෝගයක් තිබුණා වැඩි වශයෙන් පන්දු රකින්නන් රඳවා තිබූ පිට ඉන්න දෙසින් පන්දු රකින්නන් අතරින් පහරවල් එල්ල කරන්නට හෝ ක්‍රීඩකයින් වැඩි වශයෙන් නැති පා ඉන්න දෙසින් පහරවල් එල්ල කරන්නට.

මගේ ඉනිමේ වැඩි ලකුණු සංඛ්‍යාවක් පැමිණියේ ඩ්‍රයිව් සහ කවර් ඩ්‍රයිව් පහරෙන්. සෑමවිටම උසස් තාක්ෂණයකින් යුතුව සහ වේගයෙන් පන්දුවක් පහරවල් එල්ල කිරීමට මට හැකියාව ලැබුණා. 

අසාර් පන්දු රකින්නෙකු වෙනස් කළ වහාම ඒ ස්ථානයෙන් පහරදීමට මම සමත් වුනා. 

අසංක ගුරුසිංහ එක් ලකුණට දැවී ගිය මොහොතේ කඩුල්ලට එක්වුණේ රොෂාන් මහානාම. ඔහු කුඩා කාලයේ සිටම මගේ මිත්‍රයා. 

ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ – ක්‍රිස් ගේල්

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරිය බව විවාදයකින් තොරව …..

අර්ජුනට ඉහළින් ඔහුට පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලැබුණේ කඩුලු අතර වේගයෙන් දිවීමට ඔහුට තිබුණ හැකියාව නිසා. අනෙක් කාරණාව ලෝක කුසලාන තරගාවලිය පුරාවටම ඔහුට පිතිකරණයේ යෙදීමට වැඩි අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔහුගේ පිතිකරණ රිද්මය අවසන් තරඟයට පෙර විමසා බලන්නට අපට අවශ්‍ය වුනා.

ඉන්දියානු පන්දු යවන්නන් එල්ල කළ සෑම අභියෝගයකටම අපිට පිළිතුරක් තිබුණා. පන්දු 32කින් මම මගේ අර්ධ ශතකය වාර්තා කරගන්නා විට ලකුණු 150 සීමාව මගේ හිතේ කෙළවරක තිබුණා. නමුත් මටවත් විශ්වාස කරගත නොහැකි ලෙස කුම්බ්ලේ එවූ ගුග්ලි පන්දුවක් පිත්තේ ඇතුලත දාරයේ වැදී කඩුල්ල බිඳී ගියා. 

මා දැවී යන විටත් කණ්ඩායම තිබුණේ යම් අසීරු තැනක. නමුත් රොෂාන්ගේ අභීත ඉනිම සහ අර්ජුන, හෂාන්, වාස්ගේ දායකත්වයෙන් ලකුණු 250 සීමාව ඉක්මවා යෑමට අපිට හැකියාවක් ලැබුණා.

තණතීරුව වෙනස් හැසිරීමක් පෙන්නුම් කරන බවක් අපට හැඟී ගියා. එබැවින් ලකුණු 250 ජයග්‍රාහී ඉලක්කයක් බව පෙනෙන්නට තිබුණා.

සචින් තෙන්දුල්කාර්, මොහොමඩ් අසාරුඩීන්, නව්ජෝට් සිං සිධු, විනෝද් කම්බ්ලි වැන්නන් සිටි ඉන්දියානු පිතිකරණ ලැයිස්තුවත් සමඟ එය එතරම් ලෙහෙසි කටයුත්තක් නොවන බව අප දැන සිටියා.

සචින් සමඟ සංජේ මංජේකාර් පන්දුවට පහර දෙමින් සිටින විට ඉන්දියානුවන්ට එය ඉතා ලෙහෙසි කටයුත්තක් ලෙස පෙනෙන්නට තිබුණා.

කඩුල්ලක අවශ්‍යතාවක් ඉහළින් දැනෙමින් තිබූ මොහොතක රොමේෂ් කළුවිතාරණ සචින් දවා ගැනීමට ලබා ගත් ස්ටම්ප් කිරීම අතිවිශේෂයි. ඒ වෙද්දී කළුගේ කඩුලු රැකීම බොහෝ දෙනෙකුගේ විවේචනයන්ට ලක්වූ කාලයක්. නමුත් ඒ සියල්ලම එක් සුවිශේෂී ස්ටම්ප් කිරීමකින් වෙනස් වුනා.

එතැන් පටන් කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට සාර්ථක වීමට අපි ඉඩකඩ ලබා දුන්නේ නැහැ. ඉන්දියානු කඩුලු එකිනෙක බිඳ වැටී අසරණව තිබූ මොහොතක ඉන්දියානු ප්‍රේක්ෂකයින් සිය විරෝධය පළ කළේ ප්‍රේක්ෂකාගරයේ ගිණි දල්වමින් සහ නොයෙක් දේ ක්‍රීඩා පිටියට විසි කරමින්.

එවෙලේ පිටියට ආ තරඟ තීරක ක්ලයිව් ලොයිඩ් අභීත ලෙසින් තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.”

ලෝක කුසලාන විජයග්‍රහණයේ මිහිර.

“ඔව්, අපි ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා සිටියා. අනෙක් පසින් අවසන් මහා තරගයට පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම. ලෝක කුසලාන අවසන් මහා තරගයකට ක්‍රීඩා කරනවා නම් ක්‍රීඩා කරන්නට ඕස්ට්‍රේලියාව තරම් සුදුසු වෙනත් කණ්ඩායමක් අපට සිටියේ නැහැ.

ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙකු විශ්වාස කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පහසු ජයක් අත්කර ගනීවී යන්න. නමුත් අපට කළ හැකි දෙය ඕස්ට්‍රේලියානුවන් හෝ සෙසු ලෝකයා දැන සිටියේ නැහැ.

තරගයට පෙර දිනයේ රාත්‍රියේ තිබුණේ සෑහෙන අයහපත් කාලගුණයක්. වාසනාවකට අවසන් මහා තරගයට ඉන් කිසිදු බලපෑමක් ඇතිවුණේ නැහැ. ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති මුල්ම දිවා-රාත්‍රී තරගය එයයි.

ක්‍රිකට් ප්‍රවීණයන් බොහෝ දෙනෙකුගේ මතය වුනේ අවසන් මහා තරගයේ මුලින්ම පන්දුවට පහරදීම වඩාත් සුදුසු බව. නමුත් අර්ජුන කාසියේ වාසිය මුලින්ම පන්දුවට පහරදීම ඕස්ට්‍රේලියානුවන්ට බාර කළා.

ඕස්ට්‍රේලියානුවන් සිය පළමු පන්දුවාර 26 තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 136ක් රැස් කළා. තරඟයේ සම්පූර්ණ පාලනය ඕස්ට්‍රේලියානුවන් අතේ තිබුණේ. එවැනි අවස්ථාවක තරඟයේ පාලනය නැවත ලබා ගන්නට ඉතාම අපහසුයි. ලකුණු තුන්සීය ඉක්මවූ ඉලක්කයක් නිසැකයෙන්ම පෙනෙන්නට තිබුණා.

මා යැවූ පන්දුවකට මාක් ටේලර් ලබා දුන් අපහසු උඩපන්දුවක් සනත් ජයසූරිය විසින් රැකගනු ලැබීමත් සමග ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩා වැටීම ආරම්භ වුනා. 

ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නන්ගේ දැඩි ග්‍රහණයට නතු වු ඕස්ට්‍රේලියානුවන්ට සිය පන්දුවාර පනහ  අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 241ක් පමණයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන ඉහළතම සම්මානය සහ ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලාංකික පිතිකරුවන්ට ලැබුණ ඉලක්කය ලකුණු 242ක්.

අවසන් පූර්ව තරගයේ දී සිදු වූ පරිද්දෙන්ම අප කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුනා. සනත් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය අතර කළු ඩේමියන් ෆ්ලෙමිංගේ ගොදුරක් බවට පත්වුණා.

අසංක ගුරුසිංහ සමඟ මා කඩුල්ලට එක්වූ අවස්ථාවේ මට 1992 සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ඕස්ට්‍රේලියා තරඟය මතකයට නැගුණා. නියත ජයග්‍රහණයක් අප අතින් ගිළිහී ගිය ආකාරය මට මතකයට නැගුණා.

ටගා පන්නරය ලැබූ හැටි

1965 වසරේ ජුනි මස 02 වැනිදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැන්ටබරි …..

එදා සිටි අරවින්දට වඩා පරිණත අරවින්ද කෙනෙකු මා අභ්‍යන්තරයේ සිටින බව මා දැන සිටියා. ඕස්ට්‍රේලියානුවන් පවා එය දැන සිටියා. නමුත් මට එය ඔප්පු කිරීමට සිදුවී තිබුණා.

ඉනිම ආරම්භයේ දී ම මම වේගය අඩාල කරන එවන පන්දුවක් බලාපොරොත්තු වුනා. බලාපොරොත්තු වූවා වගේම ඩේමියන් ෆ්ලෙමිං එවැන්නක් එල්ල කළා. එයට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට මට හැකියාව ලැබුණා.

අසංකටත් මටත් ඉක්මන් ලකුණු කිහිපයක් ලබා ගන්නට ද හැකියාව ලැබුණා. මොහොතින් මොහොත අප විශ්වාසය වැඩි වූ බවක් දැණුනා.

ඉනිම ආරම්භයේ දී ම ෆ්ලික් පහරක්, පුල් පහරක්  ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමත් සමඟ මගේ විශ්වාසය තවත් වැඩිවුණා.

අසංක, ෂේන් වෝන්ගේ පන්දුවකට එල්ල කළ දැවැන්ත හයේ පහර කිසිමදාක අමතක කරන්න බැහැ. අසංකගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි අර්ජුනගෙන් ද වෝන්ට කිසිම සමාවක් ලැබුණේ නැහැ.

කල්කටාවේ දී මෙන්ම මම කෙළින් පිත්ත ගෙන එමින් පන්දුවට පහර දුන්නා. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම  අවස්ථාවේ දී ශතකයක් ලබා ගැනීමට හැකි වීම මා ලද විශාල භාග්‍යයක්.

ජයග්‍රාහී ලකුණ අර්ජුනගේ පිත්තෙන්ම එල්ල වීම අප ලද ජයග්‍රහණයේ වටිනාකම වඩ වඩාත් තීව්‍ර කළා. අප ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙතනට ගෙන එන්නට ඔහු කළ මෙහෙය අති විශාලයි.

ලාහෝර් නුවර ප්‍රේක්ෂකාගරයේ ලෙළ දුන් ශ්‍රී ලාංකීය ධජ සංකේතවත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලෝක තලයේ රැන්දූ නාමය පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවෙන් අප රට හමුවේ ඉදිරියේ ඇති අභියෝගයන් රාශියක්”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<