Home Sinhala වෝනර් වීරයා කරමින් ඕස්ට්‍රේලියානු සංචාරය අවසන් වෙයි!

වෝනර් වීරයා කරමින් ඕස්ට්‍රේලියානු සංචාරය අවසන් වෙයි!

82

ඕස්ට්‍රේලියාවේ වාසය කරන ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකගේ සහයෝගය මධ්‍යයේ මෙල්බර්න් හිදී පැවති තෙවැනි T20 තරගයෙන් ද කඩුලු 7ක පරාජයක් විඳ දරා ගැනීමට අද (01) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඒ තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් ද උරුම කර ගනිමිනි. මෙම තරග තුනේදීම කිසිදු සටන්කාමීත්වයක් ශ්‍රී ලංකා පිළෙන් දැකගන්නට නොලැබීම ප්‍රේක්ෂකයින් තුල දැඩි කනස්සල්ලක් ඉතිරි කිරීමට ද හේතුවිය.

ඕස්ට්‍රේලියාවේ දී මුල් වරට ශ්‍රී ලංකාව T20 තරගාවලියක් පරාජය වෙයි!

බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි විස්සයි …..

අද තරගාවලියේ මුල් වරට කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු නායක ඒරෝන් ෆින්ච් සමත් වූ අතර දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුලින් පන්දුවට පහර දීමට ඔහු ආරාධනා කළේය. ඒ නැවතත් ඔවුන්ව ඉක්මනින් දවා ගනිමින් තවත් පහසු ජයක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරිවයි.

පළමු T20 තරගයේ දී ප්‍රවේගකාරී අර්ධ ශතකයක් රැස්කළ ග්ලේන් මැක්ස්වෙල් මානසික ගැටලු නිසාවෙන් මෙම තරගයට සහභාගි නොවන බව මීට දිනකට පෙර ප්‍රකාශ විය. එබැවින් අද ඔහු වෙනුවට කණ්ඩායමට එක්වී සිටියේ 24 හැවිරිදි දකුණත් පිතිකරු බෙන් මැක්ඩර්මොට් නම් ක්‍රීඩකයායි. මේ දක්වා විස්සයි විස්ස තරග 8කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කැපී පෙනෙන දස්කම් දක්වා නොමැති වුවද ලීග් තරග වලදී ඉහළ හැකියාවන් පෙන්වා ඇත.

Photos: Sri Lanka Vs Australia – 3rd T20I

ඒ හැරෙන්නට ඕස්ට්‍රේලියානු පිළ දෙවැනි තරගයේ දී නියෝජනය නොකළ මිචෙල් ස්ටාර්ක් නැවතත් කණ්ඩායම හා එක්වී තිබූ අතර වෙනත් කැපී පෙනෙන වෙනස්කම් කිරීමට ඔවුන් කටයුතු කර නොතිබුනේ පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් සිටි නිසා විය යුතුය. ශ්‍රී ලංකා පිළ පසුගිය තරගයට සහභාගි වූ කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදු කරමින් ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග සහ ඉසුරු උදාන වෙනුවට භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය සහ ලහිරු කුමාර කණ්ඩායමට ඇතුළත් කර තිබුණි.

පිතිකරණ අංශයට වැඩිපුර ක්‍රීඩකයින් ඇතුළත් කර තිබුනද අද ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ දික්වැල්ල පළමු පන්දුවෙන්ම දැවී ගියේ ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක් ගෙන දෙමින්ය. ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිට අනුව දික්වැල්ල යනු “ස්ථාවර” පිතිකරුවෙකු වුවද ස්ටාර්ක් යැවූ පන්දුවට ඔහු එල්ල කළ පහර කුමක්දැයි හඳුනා ගැනීමටත් අපහසු බව ජාත්‍යන්තර විචාරකයින්ගේ මතය විය. කුසල් මෙන්ඩිස් අද අනෙක් අන්තයෙන් ඉනිම ආරම්භ කරමින් පන්දු 18කදී ලකුණු 13ක් ලබා ගත්තේය.

සංගා නැවතත් ගාල්ලේ වැඩ පෙන්වන්න සැරසේ

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ඉතිහාසය 1970 …..

මේ අනුව නැවතත් ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු අඩිපාරේ ගමන් අරඹන බව පෙනෙන්නට තිබූ අතර එහි අපගමනයක් පෙන්නුම් කළේ වමත් පිතිකරු කුසල් පෙරේරා පමණි. ශ්‍රී ලංකාවට තරගයක් ලබාදිය හැකි ලකුණු පුවරුවක් හිමිකර දීමට තම උපරිමයෙන් වෑයම් කළ ඔහු තම 11 වැනි T20 අර්ධ ශතකය ලෙස ලකුණු 57ක් ලබා ගත්තේය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20ක් ලබා ගත්තද ඔහු අද කිසිදු හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කළේ නැත. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 6යි.

අනෙක් අන්තයෙන් කඩුලු එකින් එක බිඳ වැටෙන විට බොහෝදෙනා බලාපොරොත්තු වූයේ පසුගිය දිනවල ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදුනු භානුක රාජපක්ෂ මුල්පෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙනු ඇති බවයි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට අනුව ඔහුට පිතිකරණ ලැයිස්තුවේ හිමි ස්ථානය අංක 7 විය. ඒ අනුව අවසන් මොහොතේ පිටියට පිවිසි භානුක තමන්ට ලැබුණු පන්දු 11 දී නොදැවී ලකුණු 17ක් ලබා ගත්තේය. ඒ මිචෙල් ස්ටාර්ක්ට එල්ල කළ හයේ පහරක් සහ හතරේ පහරක් සමඟයි.

ශකීබ්ට සාධාරණය ඉල්ලා ක්‍රිකට්ලෝලීන් කුපිත වෙයි!

ශකිබ් අල් හසන් හට පනවා තිබෙන තරග තහනමින් …..

මේ නිසා ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 142ක් ලබා ගැනීමට හැකිවිය. කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ වී වැඩි කල් යන්නට පෙර පළමු කඩුල්ල දවා ගැනීමට අවස්ථා දෙකක් ශ්‍රී ලංකාවට ලැබුණු අතර නායක මාලිංග සහ ඕෂධ ප්‍රනාන්දු ලැබුණු උඩපන්දු සුරැකිව රැක ගැනීමට සමත් වූයේ නැත. එබැවින් ඒරෝන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් අතරේ පළමු කඩුල්ලේ සබඳතාවය 69ක් දක්වා වර්ධනය විය.

අවසානයේ ලකුණු 37ක් ලබාගත් ෆින්ච් පිටියෙන් ඉවත් වන්නේ ලහිරු කුමාරගේ වේග පන්දුවක් හමුවේයි. ඉන් අනතුරුව හොඳ ආරම්භයක් ලබා සිටි ස්ටීව් ස්මිත් ලකුණු 13කට දවා ගැනීමට නුවන් ප්‍රදීප්ට හැකි වන්නේ ලක්ෂාන් සඳකැන් රැකගත් අපහසු උඩපන්දුවක් හමුවේයි. ඒ සමඟම පන්දුව අතට ගත් ලසිත් මාලිංග නවක පිතිකරු බෙන් මැක්ඩර්මොට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගත් නිසා ශ්‍රී ලංකාවට තරගයේ මුල් වරට සුළු වාසියක් හිමිවිය.

නමුත් සංචාරය පුරාවටම ශ්‍රී ලංකාවට එලව එලවා පහර දුන් ඩේවිඩ් වෝනර් අර්ධ ශතකයක් වාර්තා කිරීමත්, ඇශ්ටන් ටනර්ගෙන් ඔහුට විශාල සහයක් හිමි වීමත් නිසා ශ්‍රී ලංකාවට අදත් ජයග්‍රාහී අවසානයක් හිමි නොවීය. ඒ අනුව පන්දුවාර 17.4ක් නිමා වෙද්දී ඕස්ට්‍රේලියාව ලකුණු 145ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේ කඩුලු 7කිනි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 50කදී ලකුණු 57ක් ලබා ගත්තේය.

වින්ස්ගේ පිත්ත ඉදිරියේ කිවියන් දණ නමයි

සංචාරක එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ආරම්භ කරමින් ක්‍රසිස්චච්හිදී පැවති පළමු…

ඒ අනුව ශ්‍රී ලංකාවේ පූර්ණ තරගාවලි පරාජය තහවුරු වූයේ සංචාරය අවසානයේ විසඳාගත යුතු ගැටලු රාශියක් ඉතිරි කර තබමිනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු තණතිලි වල ඉපිලීම හා වේගය ඉදිරියේ ප්‍රවේගකාරී පහරවල් කරා යොමු වීමට අපොහොසත් බව පැහැදිලි වූ අතර පන්දු යවන්නන්ද තණතිලි වල සහයෝගය තම පන්දු යැවීම සමඟ ගලපා ගැනීමට සමත් වූයේ නැත. පන්දු රැකීමේ හා නායකත්වයේ සහ කණ්ඩායම තේරීමේ ද නිවැරදි විය යුතු තැන් රාශියක් විය.

ඕස්ට්‍රේලියාව පැත්තෙන් ඔවුන් ඉතාමත් සාර්ථක තරගාවලියක් අවසන් කළ බව පැහැදිලි වූ අතර කණ්ඩායමේ ස්ථාන දෙකක් හෝ තුනක් හැරෙන්නට අනෙක් සියලුම ක්‍රීඩකයින් තම මව්බිමේදීම පැවැත්වෙන T20 ලෝක කුසලානය සඳහා බොහෝදුරට ක්‍රීඩා කරනු ඇත. අද තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසටද සම්මාන හිමිවූයේ ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් රැස් කරගත් ඩේවිඩ් වෝනර්ටයි.

Result


Sri Lanka
142/6 (20)

Australia
145/3 (17.4)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Ben McDermott b Mitchell Starc 0 1 0 0 0.00
Kusal Mendis c Ben McDermott b Kane Richardson 13 18 0 1 72.22
Kusal Perera c Ashton Turner b Pat Cummins 57 45 4 1 126.67
Avishka Fernando c Ben McDermott b Pat Cummins 20 22 0 0 90.91
Oshada Fernando c  Alex Carey b Kane Richardson 6 4 1 0 150.00
Shehan Jayasuriya b Mitchell Starc 12 15 0 0 80.00
Bhanuka Rajapakse not out 17 11 0 0 154.55
Lasith Malinga not out 8 4 0 1 200.00


Extras 9 (b 0 , lb 8 , nb 0, w 1, pen 0)
Total 142/6 (20 Overs, RR: 7.1)
Fall of Wickets 1-3 (0.6) Niroshan Dickwella, 2-33 (4.4) Kusal Mendis, 3-76 (11.6) Avishka Fernando, 4-99 (14.2) Oshada Fernando, 5-110 (16.1) Kusal Perera, 6-132 (18.6) Shehan Jayasuriya,

Bowling O M R W Econ
Mitchell Starc 4 0 32 2 8.00
Kane Richardson 4 0 25 2 6.25
Pat Cummins 4 0 23 2 5.75
Ashton Agar 4 0 24 0 6.00
Adam Zampa 4 0 30 0 7.50


Batsmen R B 4s 6s SR
Aaron Finch c Shehan Jayasuriya b Lahiru Kumara 37 25 1 3 148.00
David Warner not out 57 50 3 1 114.00
Steve Smith c Lakshan Sandakan b Nuwan Pradeep 13 9 2 0 144.44
Ben McDermott lbw b Lasith Malinga 5 7 0 0 71.43
Ashton Turner not out 22 15 0 2 146.67


Extras 11 (b 0 , lb 5 , nb 0, w 6, pen 0)
Total 145/3 (17.4 Overs, RR: 8.21)
Fall of Wickets 1-69 (8.5) Aaron Finch, 2-85 (10.5) Steve Smith, 3-99 (12.5) Ben McDermott,

Bowling O M R W Econ
Lasith Malinga 4 0 22 1 5.50
Lahiru Kumara 4 0 49 1 12.25
Nuwan Pradeep 3.4 0 20 0 5.88
Shehan Jayasuriya 2 0 24 0 12.00
Lakshan Sandakan 4 0 25 0 6.25



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<