සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (08) නිමා වෙද්දී, තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 131ක් ලබා සිටිය හ. පළමු ඉනිමේ වැඩි ලකුණු 229ත් සමඟින් කොදෙව්වෝ මේ වෙද්දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 360ක් ඉදිරියෙන් පසුවෙති. ඒ තවත් කඩුලු 6ක් ද අතැතිව ය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවාසනාවට උර තබති
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි…
ට්‍රින්ඩෑඩ් හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේ දෙවැනි දිනය නිමාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 31ක් ලබා සිටි අසීරු තත්ත්වය තව දුරටත් තෙවැනි දිනයේ දී ද ගෙන යමින් ඔවුන්ගේ ඉනිම ලකුණු 185කට සීමා විය. මෙම ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කොදෙව්වන් හමුවේ ලබා ගත් අඩුම ලකුණු අතර තෙවැනි තැන ගත් අතර ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ. මීට ප්‍රථම 2008 වසරේ දී ඔවුන් ලබා සිටි අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ සියලුම දෙනා දැවී 268යි.
අද දිනය ආරම්භ කළ නායක දිනේෂ් චන්දිමාල් සහ රොෂේන් සිල්වාට සිතූ සේ යමක් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් කර ගත නොහැකි විය. ශ්‍රී ලංකා ඉනිමට අද දවසේ 12 වැනි ලකුණ එකතු වෙද්දී සිව්වැනි කඩුල්ල අහිමි විය. ඒ රොෂේන් සිල්වාගේ දැවී යෑමත් සමඟිනි. කෙමාර් රොච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් රොෂේන් සිල්වා දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 05ක් පමණි.
අනතුරුව දිනේෂ් චන්දිමාල්ට එකතු වූ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීමට කටයුතු කළේය. එහෙත් දිවා විවේකයට පන්දු 5ක් ඉතිරිව තිබිය දී දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම අවසන් කිරීමට ශැනොන් ගැබ්‍රියෙල් සමත් වූවේ රොස්ටන් චේස් විසින් අල්ලා ගන්නා ලද උඩ පන්දුවක ආධාරයෙනි.
චන්දිමාල්ගේ ඉනිම පන්දු 121ක දී ලකුණු 44ක් වූ අතර ඊට හතරේ පහර 5ක් ද ඇතුලත් විය. චන්දිමාල්ගේ මෙම ඉනිමත් සමඟින් කොදෙව්වන්ට එරෙහිව තරග 3ක ඉනිම් 4ක දී ලකුණු 232ක් රැස් කරගෙන සිටින අතර එය ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දක්වා වර්ධනය විය. වර්තමාන කණ්ඩායමේ සිටින්නන් අතරින් පළමු තැන ගන්නේය.
චන්දිමාල් සහ දික්වැල්ල අතර 5 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 78කි. එය ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව ද විය.
ලහිරු කුමාර කොදෙව් ඉනිම පාලනය කරයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගයේ…
දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 125ක් වූ අතර ඒ වෙද්දී නිරෝෂන් දික්වැල්ල ලකුණු 25ක්, දිල්රුවන් පෙරේරා ලකුණු 4ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටියහ.
දිවා විවේකයෙන් පසුව යැවුණ 7 වැනි පන්දුවාරයේ දී නිරෝෂන් දික්වැල්ල දුවද්දී දැවී යමින් තම ඉනිම අවසන් කර ගත්තේය. ඒ වෙද්දී ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියේය. දිල්රුවන් පෙරේරා සමඟින් සාර්ථක කඩුලු සබඳතාවක් එක් කිරීමේ ඉඩ කඩ ඉතා අපූරුවට විවරව තිබිය දී දික්වැල්ලගේ දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමට තවත් දරා ගත නොහැකි බරක් විය.
මේ අසීරු අවස්ථාවේ දී දිල්රුවන් පෙරේරා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහරක් බැගින් තම ඉනිමට එක් කර ගනිමින් ලකුණු 20ක් ද, සුරංග ලක්මාල් පන්දු 25ක දී හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් ලකුණු 15ක් ද ලබා ගනිමින් තම කඩා වැඩෙන ඉනිම යම් තරමකින් හෝ ගොඩ ගැනීමට දායක විය. රංගන හේරත් (05), ලහිරු ගමගේ (00*) සහ ලහිරු කුමාර (08) තම ඉනිම් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කර ගත්හ.
දිනයේ තේ විවේකය වෙද්දී සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. දකුණතින් වේගපන්දු යවන මිගෙල් කමින්ස් ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය. කෙමාර් රොච් සහ ශැනොන් ගැබ්‍රියෙල් අතර කඩුලු 2 බැගින් ද, ජේසන් හෝල්ඩර් සහ දේවේන්ද්‍ර බිශෝ හමුවේ කඩුල්ල බැගින් ද බෙදී ගියහ.
කොදෙව්වන්ට වඩා ලකුණු 229ක් පසු පසින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පිට පිට නැවත වතාවක් පන්දුවට පහර දීමේ වාරය උදාකර දිය හැකි වූව ද, කොදෙව්වෝ එය තමන් වෙතම පවරා ගත්හ.
ඒ අනුව පිටියට පිවිසි කොදෙව්වන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 36ක් විය. සුරංග ලක්මාල්, ඩෙවොන් ස්මිත් (20) දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමිනි.
දෙවැනි ඉනිමේ කඩුලු ලබා ගැනීම ආරම්භ කළ ලහිරු කුමාර කොදෙව් ලකුණු පුවරුව 55ක් වෙද්දී ක්‍රේග් බ්‍රැත්වෙයිට් දවා ගත්තේය. ඊට අමතරව ඔහු ෂායි හෝප් (01) ද දවා ගැනීමට සමත් විය.
කොදෙව් දෙවැනි ඉනිමේ වඩාත් ආක්‍රමණශීලී පිතිකරුවා වූයේ කිරන් පවෙල් ය. වමතින් පිත්ත හැසිර වූ ඔහු දිනය නිමාවේ දී පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා සිටියේය. පවෙල් තමන් මුහුණ දුන් 59 වැනි පන්දුවේ දී තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5 වැනි අර්ධ ශතකය ලබා ගැනීමට සමත් විය.
තරගයේ මෙතෙක් එකම ශතකලාභී ෂේන් ඩොව්රිච් අනෙක් අන්තයෙන් නොදැවී රැඳී සිටින්නේ පන්දු 28ක දී ලකුණු 11ක් ලබා ගනිමිනි.
බාලගිරි දෝෂයට හසු වූ සුපිරි අවසාන තරගය
ආතක් පාතක් නැතිව කඩා වැඩෙන වර්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය බාලගිරි දෝෂයට හසුකරගෙන තිබේ.
පළමු ඉනිමේ සේ ම දෙවැනි ඉනිමේ දී ද කඩුලු ලබා ගැනීමේ වරම ගත් ලහිරු කුමාර දිනය නිමාවේ දී ලකුණු 28කට කඩුලු 2ක් දවා ගෙන සිටියේය. ඊට අමතරව සුරංග ලක්මාල් සහ රංගන හේරත් කඩුල්ල බැගින් දවා ගත්හ.
තරගය සිව්වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.
බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 414 (154.0): කිරන් පවෙල් 38, ෂායි හොප් 44, රොස්ටන් චේස් 38, ෂේන් ඩොව්රිච් නොදැවී 125, ජේසන් හෝල්ඩර් 40, දේවේන්ද්‍ර බිශෝ 40, කෙමාර් රොච් 39, සුරංග ලක්මාල් 2/55, ලහිරු කුමාර 4/95
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (55.4): දිනේෂ් චන්දිමාල් 44, නිරෝෂන් දික්වැල්ල 31, දිල්රුවන් පෙරේරා 20, කෙමාර් රොච් 2/34, ශැනොන් ගැබ්‍රියෙල් 2/48, මිගෙල් කමින්ස් 3/39
බටහිර ඉන්දීය කොදෙව්; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 131 (40.0): ඩෙවොන් ස්මිත් 20, කිරන් පවෙල් නොදැවී 64, ලහිරු කුමාර 2/28
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















