ඔහු ක්‍රිකට් පිටියට පිවිසි මුල් සමය අපට මතකය. රත්ගම ප්‍රදේශයේ තරුණයෙකු විදුලි සැර වන් පන්දු යවන බැව් එකල මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ඔහු ජාතික කණ්ඩායමේ පිතිකරුවන්ට පුහුණු දැල් තුළ පන්දු යැවීම ආරම්භ කළ වකවානුවේදීය.
එහි දී නම් දැරූ පිතිකරුවන් කිහිප දෙනෙක්ම ඔහුට මුහුණ දීමට එතරම් කැමැත්තක් නොදක්වන ලද්දේ ඔහුගේ පන්දු හඳුනා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බැවින් සහ එම පන්දුවල අධික වේගය නිසා ඒවා ශරීරයේ වැදී ඔවුන් ආබාධවලට ලක්වේ යැයි ඇතිවූ බිය නිසාය. ඔහු ලසිත් මාලිංග ය.
පළමු පෙළ හා පුහුණු තරගවල දී දැක්වූ දස්කම් නිසා 2004 වසරේ ඔහුට ජාතික කණ්ඩායමේ දොර හැරෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයට තෝරා ගත් සංචිතයට ඔහුගේ නම ඇතුළත් වීමත් සමඟය. සංචාරයට පෙරම විචාරකයන්ගේ අවධානය දිනාගත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන ඕස්ට්‍රේලියානු පුවත්පත් විශේෂ අවධානයක් යොමු කර තිබුණි. තරගාවලිය ආරම්භ කරමින් පැවති පුහුණු තරගයේ දී ලකුණු 90කට කඩුලු 6ක් දවාගත් ඔහු තම මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩාවින් හිදී එක් පන්දුවාරයක් තුළ ඇඩම් ගිල්ක්‍රිස්ට් හා ඩැරන් ලීමන් යන පිතිකරුවන් දවා ගන්නේ ටෙස්ට් පිටිය තුළ තම නාමය පළමු වරට සනිටුහන් කරමිනි. ඔහු ලසිත් මාලිංග ය.

එලෙස ආරම්භ කරන ලද ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂය වූයේ 2007 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමඟින් පැවති තරගයයි. එම තරගයේ අවසාන භාගය සජීවීව නැරඹුවේ සුළු පිරිසක් පමණක් වූ අතර එයට හේතු වූයේ ලකුණු 210ක පහසු ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 44ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 206ක් ලබාගෙන තම ඉලක්කය කරා පහසුවෙන් ගමන් කරමින් තිබූ බැවිනි.
තරගයේ 45 වන පන්දු වාරය යැවීම සඳහා නායක මහේල ජයවර්ධන විසින් පන්දුව ඔහු වෙත ලබා දුන්නේ කළ හැකි යමක් කරන ලෙස ඔහුට උපදෙස් ලබාදෙමින් ය. සිංහ සෙයින් තරගයට පිවිසි ඔහු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමින් එම පන්දු වාරයේ පස්වැනි සහ හයවැනි පන්දුවලින් කඩුලු දෙකක් දවා ගෙන දකුණු අප්‍රිකා ඉනිම අසීරු තත්ත්වයකට තල්ලු කර හරින්නට සමත් විය. ඉන් නොනැවතී 47 වන පන්දු වාරයේ පළමු පන්දු දෙකටම කඩුලු දෙකක් දවා ගැනීමට ඔහු සමත් වූයේ එදා මෙදාතුර ක්‍රිකට් ඉතිහාසයේ පන්දු හතරක් තුළ කඩුලු හතරක් දවා ගත් පළමු ක්‍රීඩකයා බවට පත් වෙමිනි. ඔහු ලසිත් මාලිංග ය.
ඉන්පසුව ඔහු යැවූ පන්දුව අවාසනාවන්ත අයුරින් කඩුල්ලට ඉතා ආසන්නයෙන් ඇදී ගියේ දහස් ගණනක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ මුවගින් පිටවූ සෝ සුසුම් මධ්‍යයේ ය. අනතුරුව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හදවත් සිඳ බිඳ දමමින් දකුණු අප්‍රිකානුවන් ජයග්‍රාහී ලකුණ රැස් කළ ද ඒ වන විටත් රත්ගමින් ආ මේ තරුණයා ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මිලියන ගණනකගේ හදවත් දිනාගෙන අවසාන විය. ඔහු ලසිත් මාලිංග ය.

ලෝ වටා ක්‍රීඩාංගණවල ඔහුගේ නාමය දෝංකාර දෙන්නට පටන් ගත්තේය. ඔහුගේ කොන්ඩා මෝස්තරය ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය එකක් වන්නට පටන් ගත්තේය. ඔහු යවන යෝකර් පන්දු, බවුන්සර් පන්දුවලට ලෝක පූජිත පිතිකරුවන් පවා මුහුණ දීගත නොහැකිව අසරණ වන අයුරු නිරන්තරයෙන් දක්නට ලැබුණි. කොටින් කිවහොත් ඔහුගේ යුගය ඇරඹී තිබුණි.
එකල කෙතරම් සුපිරි පිතිකරුවකු කඩුල්ලේ රැඳී සිටිය ද ඔහුගේ පන්දු වාර දෙක තුනක් ඉතිරි වී ඇති නම් තරගයේ වාසිය ඇත්තේ අප වෙත බව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වන අප දැන සිටියෙමු. ප්‍රතිවාදීන් ලකුණු හඹා යන අවස්ථාවල දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ලකුණු ගණන හා එම ලකුණු ලබා ගැනීමට ඉතිරි වී ඇති පන්දු ගණන අතර සැසඳීමක් කරන සෑම අවස්ථාවක දී ම ඔහු පිළිබඳව සඳහන් කිරීමට විචාරකයන් අමතක නොකළේ ඔහුගේ පන්දු වාර වලට ලකුණු හය හතකට වඩා ලබාගත නොහැකි බව සඳහන් කරමිනි. තම පන්දු හමුවේ හතරේ පහරක් හයේ පහරක් එල්ල වුව ද, ඔහු පිතිකරු දෙස බැලුවේ සිනහ මුසු මුහුණින් යුතුවය. එම සිනහව තුළ සැඟවී තිබූ භයංකාර බව හමුවේ පිතිකරුවන් සලිත වී ගියහ. ඔහු ලසිත් මාලිංග ය.

ඉන් පසුව යළිත් 20 වැනි පන්දු වාරය යැවීම සඳහා අප කතා නායකයා පැමිණෙන විට විරාත් කෝලි සමඟ අනෙක් අන්තයේ කඩුල්ලේ රැඳී සිටියේ ලොව විශිෂ්ටතම ඉනිම අවසාන කරන්නා ලෙස හැඳින්වෙන ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක M. S. දෝනි ය. ඔහුගේ පන්දු හමුවේ දෝනි තම උපරිම ජවය යොදා පිත්ත වැනූ නමුත් පන්දුව හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට එම ජවය ප්‍රමාණවත් නොවීය. එය දුටු ඇතැම් මධ්‍යස්ථ විචාරකයන් දෝනි මෙලෙසින් අසරණ වනු තමන් කිසිදා දැක නොමැති බව ද පවසන ලදි. 18 හා 20 වන පන්දු වාර වලට පිළිවෙළින් ලකුණු 4ක් හා 7ක් පමණක් ලබා දෙමින් එදින ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවන්නට අප කතා නායකයා සමත් විය. ඔහු ලසිත් මාලිංග ය.
ඔහු සටන්කාමියෙකි. ඔහු සටන් කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයින් සමඟ පමණක් නොවේ. තම ක්‍රීඩා දිවිය පුරා විටින් විට මතු වූ දණහිස් ආබාධය, ඇතැම් ක්‍රීඩා පරිපාලකයින්, ඇතැම් ක්‍රීඩා මාධ්‍යවේදීන් සමඟත් ඔහු සටන් කළේය. මේ සියලු සටන් මැද ඔහු තම කර මතින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ වාර ගණන මෙහි සඳහන් කළ යුතු නොවේ.

වර්තමානය ගැන මම කිසිවක් නොලියමි. එය ලියා කියවා ගැනීම ඔබට භාරය. නමුත් ඔහුගේ නාමය ලෝ වටා ක්‍රිකට් ඉතිහාස පොත් තුළ හා ප්‍රේක්ෂක හදවත් තුළ රන් අකුරින් සටහන් වී හමාරය. වර්තමානය ඔහු අමතක කර දැමූව ද අනාගතයේ ක්‍රිකට් ඉතිහාසය යළි කියවෙන යම් දිනෙක ඔහුගේ නාමය යළිත් කරළියට එනු ඇත. එදිනට රත්ගම ඉපිද ලොවක් ජය ගත් සටන්කාමී තරුණයා සුපුරුදු සිනහමුසු මුහුණින් යුතුව බලා සිටිනු ඇත.
ඔහු ලසිත් මාලිංග ය..
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















