ශ්‍රී ලංකා පිළ සිම්බාබ්වේ සංචාරයේ මුල්ම පරාජය අත්විඳියි

305
sl vs wi

පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් සිම්බාබ්වේ හිදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේ (16) සමත් විය.

පසුගිය ලිපි: එංගලන්ත කාන්තා පිළට තෙවැනි එක්දින තරගයෙනුත් විශිෂ්ට ජයක්

තමන් නායකත්වය දරන දෙවන එක්දින තරගයේදී ද කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පසුගිය කාලයේ තරග රාශියක් අඛණ්ඩව පැවැත්වීම හේතුවෙන් තරමක් කඩතොළු වී ඇති හරාරේ තණතීරුවේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වගකීම කොදෙව්වන්ට භාර කලේය. අඩු ලකුණු තරගයක් පිලිබඳ පෙරනිමිති පහළ කරමින් පන්දුවේ හැසිරීම පිතිකරුවන්ට තර්ජනයක් වන බව මුල සිටම පෙනෙන්නට තිබිණි. ඒ අනුව කොදෙව් පිළේ මුල්ම කඩුල්ල ලෙස ජොන්සන් චාල්ස් පිටියෙන් ඉවත් වන්නේ ලකුණු 2ක් පමණක් ලබා සිටියදීය. ඒ ලක්මාල්ගේ පන්දුවක් හමුවේ උඩපන්දුවක් ලබා දෙමිනි. කොදෙව් පිළේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ ජොනතන් කාටර් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් රැස් කලේය. ශයි හෝප්ස් ලකුණු 47ක් ද, රෝමන් පවෙල් ලකුණු 44ක් ද රැස් කරමින් කොදෙව් ලකුණු පුවරුව යම්තාක් දුරකට ඔසවා තැබීමට සමත් විය.

පන්දුවාර 40ක් පමණ ගතවන විට කොදෙව් කණ්ඩායමේ පිතිකරණය අනුව ඔවුන් ලකුණු 250ක් වැනි ඉලක්කයක් කරා ලඟා වන බව පෙනෙන්නට තිබුනත් ඔවුන්ගේ අවසන් කඩුලු 5ම ලකුණු 18ක් තුල බිඳ වැටීම නිසා ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 227ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුලසේකර, ලක්මාල් සහ ප්‍රදීප් කඩුලු 2 බැගින් බිඳ හෙලමින් දස්කම් දැක්වූහ.

ලකුණු 5කටත් වඩා අඩු දළ ලකුණු වේගයක් සහිත ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් සතුව තරගයේ සියලු වාසි පැවතුනත් පන්දුවාර කිහිපයක් ගතවන තැන එය ප්‍රතිවාදීන් වෙත පූජා කරන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට කටයුතු කළහ. පන්දුවේ හැසිරීම පිලිබඳ වඩාත් අවධානයෙන් සිටිය යුතු හරාරේ තණතීරුවේදී අපරික්ෂාරී පහරවල් කරා ගිය ඔවුන්ට අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 165ක් පමණි. කලින් තරගයේදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කල ධනංජය සිල්වා මෙම තරගයේදී අලස ලෙස එල්ල කල පුල් පහරක් හේතුවෙන් තම කඩුල්ල අහිමි කරගත් අතර කුසල් පෙරේරා දුවද්දී දැවී යාමකට හසු විය. ඒ ජොන්සන් චාල්ස් දුර සිට එල්ල කල පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. කුසල් මෙන්ඩිස් ද ශරීරයෙන් ඉවත ඇදී යන පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට උත්සාහ කර දැවී යන විට රැස් කරගෙන සිටියේ ලකුණු 4ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාද ඇතුළු මුල් පෙළ පිතිකරුවන් කිසිවෙකුට හරාරේ තණතීරුවේ පිතිකරණ රිද්මය හඳුනාගත නොහැකිව අසරණ වෙද්දි එක් අවස්ථාවක ශ්‍රී ලංකා ඉනිම දැක්වූයේ ලකුණු 79කට කඩුලු 6ක් වශයෙනි. එතැන් පටන් ශ්‍රී ලංකා පිළේ ගෞරවය වෙනුවෙන් යම් තරමක සටනක් දියත් කළ ශෙහාන් ජයසූරිය සහ සචිත් පතිරණ 7වන කඩුල්ල සඳහා ලකුණු 60ක් එක් කිරීමට සමත් විය. සචිත් පතිරණ ලකුණු 45ක් ද, ශෙහාන් ජයසූරිය ලකුණු 31ක් ද වාර්තා කලත් එය ජයග්‍රහණය සඳහා නම් ප්‍රමාණවත් වූයේ නැත. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 227ක් වැනි අඩු ලකුණු ගණනක් සාර්ථකව ආරක්ෂා කර දුන් ශැනොන් ගැබ්‍රියෙල් සහ තම මංගල තරගයට ක්‍රීඩා කරන ඈෂ්ලි නර්ස් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ. කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු 2ක් දවා ගනිමින් තරගයේ වාසිය කොදෙව්වන් වෙත හිමිකර දීමට සමත් විය.

ඒ අනුව කොදෙව්වන් මෙම තරගය ලකුණු 62කින් ජය ගත්තේ ප්‍රසාද ලකුණක්ද තම කණ්ඩායමට එක්කර ගනිමිනි. ඒ අනුව මේ වන විට කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව ලකුණු 5 බැගින් ලබමින් ලකුණු සටහනේ ඉහළින් පසුවේ. තරගාවලියේ මීළඟ තරගය ලබන සෙනසුරාදා (19) සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් – සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 49.2): ජොනතන් කාටර් 54, ශයි හෝප් 47, රෝමන් පවෙල් 44, නුවන් කුලසේකර 2/37.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 165 (පන්දුවාර 43.1): සචිත් පතිරණ 45, ශැනෝන් ගැබ්‍රියෙල් 3/31, ඈෂ්ලි නර්ස් 3/46, ජේසන් හෝල්ඩර් 2/16.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට