පන්දු යවන්නන්ගේ තරගයකින් ලුම්බිණි විද්‍යාලයට විශිෂ්ට ජයක්

325
U19 Schools Cricket

සිංගර් 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (23) ක්‍රියාත්මක වූ පළමු කාණ්ඩයේ තරගයක දී විශිෂ්ට ජයග්‍රහණයක් තම පාසල් නාමය ඉදිරියෙන් සනිටුහන් කිරීමට ලුම්බිණි විද්‍යාලය සමත්විය. අද පළමු කාණ්ඩය යටතේ පැවති අනෙක් තරගයේ ප්‍රථම දිනය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට වැඩි ගෞරවය ගෙන දෙමින් නිමාවට පත්විය.

පසුගිය ලිපි: තුන් ඉරියව් දක්ෂතා නිසා ධර්මාශෝකයට මුල් ඉනිමේ ජයක්

සාන්ත සර්වේසස් විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අද දෙවන සහ අවසන් දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගය දෙපිළෙන්ම තරමක් අඩු ලකුණු වාර්තා වූ පන්දු යවන්නන්ට වැඩි වාසි හිමිකර දුන් තරගයක් බවට පත්විය. කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් පිතිකරුවන් ලකුණු 89ක් තුල දවාගත් ලුම්බිණි ක්‍රීඩකයින් ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 135කි. නමුත් අද දිනයේ ඔවුන්ට සිය මුල් ඉනිම සඳහා එක් කිරීමට හැකි වූයේ තවත් ලකුණු 13ක් පමණි. සර්වේසස් විද්‍යාලයේ ශශික දුල්ෂාන් ලුම්බිණි විද්‍යාලීය පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් ලකුණු 37කට කඩුලු 6ක් බිඳ හෙලන ලදී.

ලුම්බිණි ප්‍රථම ඉනිමට වඩා ලකුණු 59ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ සර්වේසස් විද්‍යාලය එහිදී රැස් කලේ ලකුණු 122ක් පමණි. සර්වේසස් දෙවන ඉනිම අසරණ කළ තානුක දාබරේ ලකුණු 31කට කඩුලු 5ක් දවාලමින් දස්කම් දැක්වීය. ඒ අනුව තරග ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 63ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සපුරාගත් ලුම්බිණි විද්‍යාලය මෙම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයකට උරුමකම් කීවේය.

සාන්ත සර්වේසස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 89 (පන්දුවාර 54.5) සඳරු නෙත්මිණ 22, විමුක්ති කුලතුංග 5/19, කණිෂ්ක මදුවන්ත 3/35.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 41.2) තානුක දාබරේ 39, රවීෂ සත්සර 32, ශශික දුල්ෂාන් 6/37, සඳරු නෙත්මිණ 4/38.

සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 122 (පන්දුවාර 45.2) සඳරු නෙත්මිණ 39, තානුක දාබරේ 5/31, විමුක්ති කුලතුංග 2/40.

ලුම්බිණි විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 66 (පන්දුවාර 13.1) රවිඳු සංජීව 36*.


මොරටු විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගය ද හෙට දිනයේදී බොහෝවිට තීරණයක් සහිත එකක් බවට පරිවර්තනය වීමට ඉඩ තිබේ. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සත්කාරකත්වය දරන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් තෝමසුවන් මොරටු විද්‍යාලයට මුලින් පන්දුවට පහර දීමට ඇරයුම් කල අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් රැස් කලේ ලකුණු 61ක් පමණි. මොරටු ඉනිම වැනසූ ඩෙලෝන් පීරිස් ලකුණු 13කට කඩුලු 6ක් දවාලමින් පන්දුවෙන් විස්මිත දස්කම් දක්වද්දී පවිත් රත්නායක කඩුලු 2කට උරුමකම් කීවේය.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තෝමසුවන් අද දිනයට තරගය නතර කරන විට තමන්ට හොඳින් හුරුපුරුදු විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී කඩුලු 3ක් දැවී ලකුණු 98ක් රැස් කරගෙන සිටියේය. හෙට තරගයේ දෙවන සහ අවසන් දිනයයි.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 61 (පන්දුවාර 30.5) ශෙහාන් සොයිසා 17, ඩෙලෝන් පීරිස් 6/13, පවිත් රත්නායක 2/17.

සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 98 (පන්දුවාර 38) දිනුර ගුණවර්ධන 36, මොහොමඩ් ඉෂාක් 24, නිර්මාල් විජේසිංහ 2/24.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට