දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 7ක්

194
Sri Lanka grabs another 7 medals

දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පදක්කම් හතකට හිමිකම් කියන්නට සමත්විය. ඒත් සමඟම රිදී පදක්කම් 32කුත් ලෝකඩ පදක්කම් 48කුත් සහිතව මුළු පදක්කම් සංඛ්‍යාව 98ක් දක්වා ඉහල නංවාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවන දිනය අවසානයේදී හැකිවිය.

පසුගිය ලිපි: ජල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 07ක්

ශ්‍රී ලංකා දියමත තවදුරටත් තම අණසක පතුරුවන ඉන්දියාව දෙවන දිනය ඇතුලත තවත් රන් පදක්කම් 34ක්ද, රිදී පදක්කම් 24ක්ද, ලෝකඩ පදක්කම් 06ක්ද සහිතව මුළු පදක්කම් 124ක සංචිතයක් සමඟින් කුළුඳුල් දකුණු ආසියානු ජල ක්‍රීඩා සැණකෙළියේ වැඩි ගෞරවය දිනා සිටියි.

දිනයේ ප්‍රථම ඉසව්ව වු 18න් පහල මීටර 100 නිදහස් ආර පහසුවෙන් ජයගත් කිමිකෝ රහීම්  මීළඟ ඔලිම්පික් උළෙලට සුදුසුකම් සම්පුර්ණ කළේ යම්සේදැයි නැවත සනාථ කළාය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ දිනයක ආරම්භයක් සේ පෙනුණු අතර ඈ දෙවන ස්ථානය ලද ක්‍රීඩිකාවට වඩා තත්පර තුනක් ඉදිරියෙන් තරඟය නිමකළාය.

අකලංක පීරිස් ශ්‍රී ලංකාව රනින් සැරසූ අනෙක් ක්‍රීඩකයා වෙමින් නට්‍රාජ් ශිහාරි ලබාදුන් දැඩි අභියෝගය මධ්‍යයේ 18න් පහල මීටර 50 පසුපස ආර ඉසව්ව ජයගත්තේ ශිහාරිට වඩා තත්පර දශම ගණනකින් 27.37 ට 27.74ක් ලෙසය.

ඔලිම්පික් වරම් සහිත මැතිව් අබේසිංහ, දිනයේ තමා සහභාගී වු සෑම ඉසව්වක්ම ජයගත්තේ 18ට වැඩි මීටර 200 මිශ්‍ර ඉසව්වත්, 18ට වැඩි මීටර 200 නිදහස් ආර ඉසව්වත් ජයගනිමිනි. ඉසව් දෙකේදීම දෙවන ස්ථානයට පත්වු ඉන්දියානු ක්‍රීඩකයාව තත්පර වලින් පසුකළ ‘ඔහුගේ දිනය’ ඊයේ දිනය ලෙස සැලකිය හැකිය. ඔහුට නොදෙවෙනි ඔහුගේ සොයුරු කයිල් අබේසිංහ ද තත්පර දෙකක පෙරමුණකින් 18න් පහල මීටර 100 නිදහස් ආර ඉසව්ව ජයගත්තේ ශ්‍රී ලංකාවේම අකලංක පීරිස්ට රිදී පදක්කම පමණක් ලබාදෙමිනි.

දිනයේ අවසන් රන් පදක්කම ශ්‍රී ලංකාවට ලැබුණේ තනි තනිව තම ඉසව් ජයගත් කිමිකෝ රහීම්, කයිල් අබේසිංහ, විනෝලි කළුආරච්චි සහ අකලංක පීරිස් යන සිව්දෙනා එක්ව, 18න් පහල මීටර 400 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වෙන් ලද ජයත් සමඟය. ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3:44.65කින් තරඟය නිමාකරමින් පැහැදිලි ජයක් ලබනවිට මිනිත්තු 3:58.10 ලෙස තරඟය නිමකළ ඉන්දියානුවෝ දෙවන ස්ථානයට පත්විය. එය තත්පර 12ක දැවැන්ත පරතරයකි.

දිනය අවසානයේදී පදක්කම් සටහනේ පෙරමුණ ගත් ඉන්දියාව මුළු පදක්කම් 124ක්ද, ශ්‍රී ලංකාව පදක්කම් 98ක්ද, බංග්ලාදේශය පදක්කම් 5ක්ද (රන්-1, රිදී-1, ලෝකඩ-3), පාකිස්තානය පදක්කම් 2ක්ද (රන්-1,ලෝකඩ-1), මාලදිවයින රිදී පදක්කමකුත් ලෝකඩ පදක්කම් 10කුත් ලබා සිටියේය.

තෙවන දිනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ඔක්තෝබර් 21 වනදා ආරම්භ වේ. දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේ තෙවන දිනයේ සම්පුර්ණ ආවරණය ලබාගැනීම ThePapare.com සමඟ රැඳී සිටින්න.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට