සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය අද (7) හරාරේ පිටියේදී පැවැත්විණි. මෙම තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: සිංහ සංවර්ධනයට තරගාවලි ජය මඟ හැරෙයි

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. ඒ අනුව පළමුවෙන් පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම, පළමු කඩුල්ල සඳහා ලකුණු 53ක සබඳතාවයක් ගොඩනැංවීමට චාල්ස් කුංජේ හා කෙවින් කසූසා සමත් විය. පළමු කඩුල්ල ලෙස 4 පහරවල් 3ක් හා 6 පහරවල් 2ක් සමඟ ලකුණු 28ක් ලබාගෙන සිටි කුංජේව දවාලීමට ලසිත ඇඹුල්දෙණිය සමත් විය.

පළමු කඩුලු 4 සඳහා ලකුණු 155ක්, පන්දුවාර 33ක් වැනි ප්‍රමාණයක් තුල ගොඩනැංවීමට සමත් වූ සිම්බාබ්වේ කණ්ඩායමේ මැදපෙළ පිතිකරණය සාර්ථක කරගැනීමට ලසිත ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැත.

දෙවන කඩුල්ල ලෙස කසූසා 4 පහරවල් 4ක් සමගින් ලකුණු 41ක් ලබාගෙන සිටියදී ද, සිව්වන කඩුල්ල ලෙස ටැරිසායි මුස්කන්ඩා 4 පහරවල් 3ක් එල්ල කරමින් ලකුණු 51ක් ලබා ගනිමින් දැවී ගිය අතර මුස්කන්ඩා මෙම තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

අවසන් මොහොතේ සටන්කාමී ඉණිමක් දියත් කල චිමහාමිවා නොදැවී 4 පහරවල් 3ක් හා  6 පහරවල් 2ක් සමගින්  ලකුණු 30*ක් ලබාගෙන සිම්බාබ්වේ ලකුණු පුවරුව තව තවත් සවිමත් කරන ලදි.

සිම්බාබ්වේ කණ්ඩායම – 232-10 (49.4) ටැරිසායි මුස්කන්ඩා 51, කෙවින් කසූසා 41,ස්ටෙෆාන් චිමහාමිවා 30*, චාල්ස්  කුංජේ 28, ලසිත ඇඹුල්දෙණිය 3/31, කසුන් මදුසංක 3/47

ලකුණු 233ක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය සඳහා හොද ලකුණු සබඳතාවයක් පවත්වා ගැනීමට චරිත් අසලංක එක් අන්තයක සිට තම සහය කණ්ඩායමට ලබා දුන් අතර ඔහු 4 පහරවල් 5ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 50ක් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 16ක් තුළ බිදවැටීමට ලක්වුව ද, හශාන් සමගින් එක් වූ අසලංක දෙවන කඩුල්ල සඳහා ලකුණු 91ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉණිම ස්ථාවර කිරීමට සමත් විය. මෙහිදී හශාන් දුමිදු ලකුණු 37ක් ලබාගත් අතර ඔහුගේ පිත්තෙන් 4 පහරවල් 4ක් එල්ල කරන ලදි.

ලකුණු 165කට කඩුලු 7ක් බිඳවැටී තිබියදී තරගයේ බලාපොරොත්තු ද, තරමක් දුරට හෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ බිදවැටී තිබුණු අතර, එම බලාපොරොත්තු නැවත පණගන්වා ගැනීමට සංජය චතුරංග හා කසුන් මදුසංක සමත් විය. කසුන් 8 වන කඩුල්ල ලෙස දැවීගිය අතර ඔහු එක් 4 පහරක් හා 6 පහරවල් 2ක් සමගින් ලකුණු 29ක් ලබාගත් අතර ඔහුට සහය දුන් සංජය එක් 4 පහරක් සමගින් ලකුණු 24*ක් නොදැවී ලබාගෙන තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 235-8 (49.3) චරිත් අසලංක 50, හශාන් දුමිදු 37, කසුන් මදුසංක 29, සංජය චතුරංග 24*, ටැරිසායි මුස්කන්ඩා 2/25, චාල්ස් කුංජේ 2/29, නෙවිල් මැඩ්සිවා 2/31

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දු 3ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබාගන්නා ලදි. කෙසේ වෙතත් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට