ඉතා සාර්ථක දින දෙකකින් පසු 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනයේ තරග ඉසව් අද (28) උදෑසන කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
දිනයේ මුල්ම ඉසව්ව ලෙස පැවති පිරිමි මීටර් 10,000 දිවීමේ තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට සමත් වූ ඒ. කේ. තරංග මිනිත්තු 30:42.15ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා තරමක සටනක් නිර්මාණය වූ නමුත් අවසානයේ දී මිනිත්තු 31:07.53කින් තරගය අවසන් කළ කේ. ශන්මුගවරම් රිදී පදක්කම සහ මිනිත්තු 31:16.67කින් ඉසව්ව අවසන් කළ ඩී. ගුණසේකර ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
කාන්තා තුන් පිම්ම ඉසව්ව සඳහා එම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩිකා විදූෂා ලක්ෂානි සහභාගි නොවූ අතර එම ඉසව්වේ මීටර් 13.07ක දස්කමක් දැක්වූ දකුණු ආසියානු පදක්කම්ලාභී හසිනි ප්‍රබෝධා විසින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

අද දිනයේ ක්‍රියාත්මක වූ පිරිමි රිටි පැනීමේ ඉසව්වේ දී මීටර් 4.70ක උසක් සාර්ථකව තරණය කළ එස්. ඊ. ජනිත් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එහි රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් ජී. එස්. ජයන්ත (මීටර් 4.30) සහ පී. මුරුගයියා (මීටර් 4.30) විසින් දිනා ගැනීමට සමත් විය.
යුද හමුදා ක්‍රීඩක සී. එල් මෙන්ඩිස් පිරිමි උස පැනීමේ ඉසව්වේ මීටර් 2.10ක දස්කමක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එම තරගයේ මීටර් 2.05 දස්කමක් පෙන්නුම් කළ සංජු තාරුක රිදී පදක්කම සහ මීටර් 2.00 දස්කමක් දැක්වූ රොෂේන් දුල්මත් ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.
අද දිනයේ පැවති විසි කිරීම් ඉසව්වන්හී කාන්තා යගුලිය විසි කිරීම ඉසව්වේ මීටර් 14.10ක දස්කමක් දැක්වූ කේ. ප්‍රනාන්දු එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එහි රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් ඩී. මුතුනායක (මීටර් 12.70) සහ ප්‍රියන්ගිකා කුමාරි (මීටර් 11.53) විසින් දිනා ගැනීමට සමත් විය.
කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ සුපුරුදු ආධිපත්‍ය පැතිරවීමට සමත් වූ නදීකා ලක්මාලි විසින් මීටර් 53.97ක දස්කමක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 48.99ක දස්කමක් දැක්වූ ඩී. ලේකම්ගේ රිදී පදක්කම සහ මීටර් 45.80ක දස්කමක් දැක්වූ එච්. මධුවන්ති ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ සියල්ලන් බලා සිටි ඉසව්ව වන වසරේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තේරීම සඳහා වූ මීටර් 100 අවසාන තරග අද දිනය අවසාන භාගයේ දී පැවැත්වුණු අතර කෙටි කලක් පිටියෙන් ඈත්ව සිටි එම ඉසව්වේ කාන්තා ජාතික ශූරියක වන රුමේෂිකා රත්නායක නැවත තරග පිටියට පැමිණීම නිසාවෙන් කාන්තා තරගයට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණි.
තවත් මලල ක්‍රීඩා පුවත්:
නමුත් කාන්තා මීටර් 100 ආරම්භයේ සිටම පෙරමුණ ගැනීමට සමත් වූ යොවුන් ක්‍රීඩිකා අමාෂා ද සිල්වා කෙටි පරතරයක් ද සමඟින් තත්පර 11.55ක (+1.5) කාලයකින් තරගය අවසන් කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර එම කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම 2006 වසරින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වාර්තා කළ වේගවත්ම කාලය ලෙස ද සටහන් විය.

පිරිමි මීටර් 100 ඉසව්වේ සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සමත් වූ ජාතික ශූර හිමාෂ ඒෂාන් විසින් 10.27ක (+2.7) කාලයකින් තරගය අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් චානුක සංදීප් (තත්පර 10.49) සහ විනෝජ් සුරංජය (තත්පර 10.50) විසින් දිනා ගැනීමට සමත් විය.

පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව සඳහා සහභාගි වූ අසිත රත්නසේන විසින් එම තරගය තත්පර 52.09ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් එල්. ප්‍රසන්ජිත් (තත්පර 53.22) සහ අයි. රත්නසේන (තත්පර 53.23) විසින් දිනා ගන්නා ලදි.

තරගාවලියේ අවසන් දිනයේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















