ක්‍රීඩකයින් 80ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු යටතට

1141
Schools and Domestic cricketers

2016/17 තරඟ වාරය සඳහා, තෝරා ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් 80කට වැඩි පිරිසකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කොන්ත්‍රාත්තු පිරිනැමීම පසුගිය බ්‍රහස්පතින්දා (04) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිනි.

පසුගිය ලිපි: ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගත් ධර්මරාජ ක්‍රීඩකයාට සහිරා විද්‍යාලයේ ආචාරය

මෙහිදී සිදු වූ කැපීපෙනෙන සිදුවීම නම් අවුරුදු 18-20 වයස් කාණ්ඩයෙන් තෝරා ගත් දක්ෂයන් 16 දෙනෙකුට රු. 200 000 බැගින් වූ මුල්‍ය පහසුකම් ලබා දීමයි. මේ ක්‍රීඩකයන් සියළු දෙනාම 19න් පහල වයස් කාණ්ඩයේදී ශ්‍රී ලංකාව නියෝජනය කර අයවලුන් වන අතර ඉන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම්, එක්දින වරම් සහ “ඒ” කණ්ඩායමේ වරම්ද ලබා ඇත.

“මුල්‍ය පහසුකම් සැපයීම සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මා ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. මොකද මිල අධික ක්‍රිකට් ආම්පන්න මිලට ගැනීම ක්‍රීඩකයෙකුට පහසු නැහැ.” චරිත් අසලංක එසේ පැවසුවේය.

යොවුන්, නැගී එන සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් බෙදා වෙන් කළ ක්‍රීඩකයන්ට පිළිවෙලින් රු. 40,000, රු. 75,000 සහ රු. 100,000 බැගින් සෑම මසකම පිරිනැමෙනු ඇත. මේ ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ විශේෂ කමිටුවකින් වන අතර ඒ සඳහා සැලකිල්ලට ගෙන ඇත්තේ වයස, ජාතික කණ්ඩායම් නියෝජනය සහ 2015/16 වර්ෂ වලදී දේශීය තරඟ බිමේ දැක්වූ දක්ෂතාවයන්ය.

“අප රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ කොඳු නාරටිය වන දේශීය ක්‍රිකට් සහ පාසල් ක්‍රිකට් සඳහා මුල් තැන දී ඒවා දියුණු කළ යුතුයි. ක්‍රමක්‍රමයෙන් අපේ දේශීය ක්‍රිකට් ශක්තිමත් කිරීම, අප මෙසේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට ප්‍රධාන හේතුව.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කොන්ත්‍රාත්තු ප්‍රදානය කරන අවස්ථාවේදී සඳහන් කළේය.

සියළුම ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළින් පාලනය වන ක්‍රීඩාංගන තුළ පවත්නා සියළු පහසුකම් පරිහරණය කිරීමට හැකි වන පරිදි පූර්ණ රක්ෂණාවරණයක් ද පිළිගන්වනු ලැබීය. ඔක්තෝම්බර් මාසයේදී 65 දෙනෙකුට වාර්ෂික දේශීය කොන්ත්‍රාත්තු පිරිනැමීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංශෝධන කිහිපයක් ඊට එක්කරමින් මුලදී එයට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටද කොන්ත්‍රාත්තු පිරිනැමීය.

“අපට දේශීය යාන්ත්‍රණය සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩකයන් අවශ්‍යයි. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාවටත්, එංගලන්තයටත් යා යුතු නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා ඔවුන් මෙරට ක්‍රීඩා කළ යුතුයි. මෙසේ තරුණ ක්‍රීඩකයන් සහ වයසින් මුහුකුරා යන ක්‍රීඩකයන්ට මූල්‍ය ස්ථාවරත්වය සැපයීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් ප්‍රශංසනීය ක්‍රියාමාර්ගයක්.” ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා එසේ පැවසුවේය.

20න් පහල ක්‍රීඩකයන් – චරිත් අසලංක, ලහිරු කුමාර, අවිශ්ක ප්‍රනාන්දු, විශාද් රන්දික, සම්මු අශාන්, අසිත ප්‍රනාන්දු, වනිඳු හසරංග, ඩිලාන් ජයලත්, ලසිත් ඇඹුල්දෙනිය, කමිඳු මෙන්ඩිස්, සංජුල අබේවික්‍රම, පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර, නවිඳු නිර්මාල්, දමිත සිල්වා, ක්‍රිෂාන් සංජුල.

යොවුන් ක්‍රීඩකයින් – මනෝජ් සරත්චන්ද්‍ර, කවිඳු කුලසේකර, සංධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, සහන් නානායක්කාර, ලහිරු මිලන්ත, මිනෝද් භානුක, පබසර වඩුගේ, ලසිත් අබේරත්න, සඳුන් වීරක්කොඩි, තරිඳු රත්නායක, ඇන්ජලෝ අබේසිංහ, අනුක් ප්‍රනාන්දු, ෂෙහාන් මධුශංක, හෂාන් දුමිඳු, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, කසුන් රාජිත.

නැගී එන ක්‍රීඩකයින් – ඇන්ජලෝ පෙරේරා, මධුක ලියනපතිරණ, සංජය චතුරංග, ලහිරු මධුශංක, භානුක රාජපක්ෂ, උමේෂ් කරුණාරත්න, තරිඳු කෞෂාල්, ගමිඳු කනිෂ්ක, මොහොමඩ් ඩිල්ශාඩ්, කසුන් මධුශංක, රුමේෂ් බුද්ධික, විමුක්ති පෙරේරා, දිනුවන් රාජකරුණා, ඩිල්ශාන් මුණවීර, මාධව වර්ණපුර, මලින්ද පුෂ්පකුමාර, සචිත්‍ර සේරසිංහ, ප්‍රභාත් ජයසූරිය, ශාලික කරුණානායක, ෂෙහාන් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, රමිත් රඹුක්වැල්ල, උදාර ජයසුන්දර, චතුරංග ද සිල්වා, අශාන් ප්‍රියන්ජන්, චමින්ද බණ්ඩාර, ලහිරු ගමගේ, ඉසුරු උදාන.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් –  මහේල උඩවත්ත, ජීවන් මෙන්ඩිස්, ෆර්වීස් මහරුෆ්, සුරාජ් රන්දිව්, ජෙහාන් මුබාරක්, නිසල් රන්දික, චාමර සිල්වා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, සචිත්‍ර සේනානායක, නුවන් කුලසේකර, හසන්ත ප්‍රනාන්දු, කෝසල කුලසේකර, හර්ෂ විතාන, ගයාන් සිරිසෝම, ශමින්ද එරන්ග දිනුක් හෙට්ටිආරච්චි, තිලින තුෂාර, දිල්හාර ප්‍රනාන්දු, ටී.එම්.සම්පත් බුද්ධික, අසේල ගුණරත්න, නදීර නාවල.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට