සජීව සහ ගයනි ලෝක යුද බොක්සිං පිටියේ පදක්කම් දිනයි

203

58 වැනි World Military බොක්සිං ශූරතාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන සජීව නුවන් කුමාර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ගයනි නිසංසලා කලුආරච්චි ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

රටවල් 36ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදි World Military බොක්සිං තරගාවලි රුසියාවේ මොස්කව් නුවර දී පැවැත්වුනා.

මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසයේ ලෝක ත්‍රිවිධ හමුදා බොක්සිං ශූරතාවලියක පදක්කම් දිනූ පළමු අවස්ථාවයි.

පදක්කම්ලාභී සජීව නුවන් කුමාර කිලෝග‍්‍රෑම් 49 Light Fly Weight බර පන්තිය නියෝජනය කළ අතර ගයනි නිසංසලා කිලෝග්‍රෑම් 75 බර පංතිය නියෝජනය කළා. මොවුන් දෙදෙනා ම තමන් මුහුණ දුන් අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වන්නේ බ්‍රසීල ජාතිකයන්ට ය.

සජීව නුවන් කුමාර දෙවරක් මෙරට ජාතික බොක්සිං ශූරයා ලෙසින් කිරුළ දිනා ඇති අතර 2019 වසරේ දී දකුණු ආසියානු තරගාවලිය ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

ගයනි නිසංසලා කලුආරච්චි මීට පෙර 2018 ආරක්ෂක සේවා බොක්සිං තරගාවලියේ ශූරිය ලෙසින් ද,  2019 ලේටන් කප් බොක්සිං තරගාවලිය සහ එම වසරේ ම පැවති ක්ලිෆර්ඩ් කප් බොක්සිං තරගාවලියේ දී ද දක්ෂතා අතර සිටි ක්‍රීඩිකාවකි.

ශ්‍රී ලංකාවට ලෝක ආරක්ෂක සේවා බොක්සිං තරගාවලියක දී පදක්කම් දිනා දුන් සජීව නුවන් කුමාර සහ ගයනි නිසංසලා කලුආරච්චි වෙත ThePapare.com හි උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<