මොරටු මහා රන් සටනේ සීමිත පන්දුවාර තරගයේ ජය සෙබස්තියානුවන්ට

167

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 33 වන වරටත් පැවති මොරටු මහා සටනේ සීමිත පන්දුවාර තරගය අද (11) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 4 ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

පළමු ඉනිමේ ජය වේල්ස් කුමරුවන්ට; තරගය ජය-පැරදුමෙන් තොරයි

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 68 වන වරට පැවති මොරටු රන් මහා සටන…

තරගයේ කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමාර නායක සවිඳු පීරිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණියේ සඳුන් ප්‍රනාන්දු සමඟින් වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන විශ්ව චතුරංග යි. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා හට සාර්ථක වීමට සාන්ත සෙබස්තියානු පන්දු යවන්නන් විසින් කිසිදු අවස්ථාවක් ලබා නොදුන් අතර වේල්ස් කුමර ලකුණු පුවරුව ලකුණු 23ක් ලෙස දැක්වෙද්දී ඔවුන් දෙදෙනාවම ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට පන්දු යවන්නන් සමත් වූයේ වේල්ස් කුමරුවන් අසීරු තත්වයකට ඇද දමමිනි.

නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වූ ප්‍රින්ස් අලංක සහ සුවත් මෙන්ඩිස් 3 වන කඩුල්ල සඳහා ලකුණු 47ක අගනා සබඳතාවක් ගොඩනඟන්නට සමත් විය. වේල්ස් කුමර ලකුණු පුවරුව ලකුණු 70ක් වන විට සුවත් මෙන්ඩිස් ලකුණු 15කට දවාගත් වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන ප්‍රවීන් ජයවික්‍රම, එම සබඳතාව බිඳ හෙලීමට සමත් විය. අනතුරුව ලකුණු 40ක් ලබා ගනිමින් ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටි ප්‍රින්ස් අලංක දුවද්දී දැවී යාමකට හසුවීමත් සමඟ වේල්ස් කුමරයේ 4 වන කඩුල්ල ද බිඳ වැටුණේ නැවතත් ඔවුන් අසීරු තත්වයකට ඇද දමමිනි.

ඉන් අනතුරුව පිටියට පැමිණි පිතිකරුවන් හට ලකුණු අතරට පැමිණීමට කිසිදු අවස්ථාවක් සෙබස්තියානු පන්දු යවන්නන් විසින් ලබා නොදුන් අතර ඒ අනුව ලකුණු 127ක් වන විට ඔවුන්ගේ කඩුලු 7ක් දවා ගන්නට පන්දු යවන්නන් සමත් විය. කෙසේ නමුත් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ සනෝජ් දර්ශික ලකුණු 38ක් වාර්තා කර ගනිමින් වේල්ස් කුමාර ඉනිම තරගයක් ලබා දිය හැකි ලකුණු තත්වයක් කරා ඔසවා තබන්නට සමත් විය. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී වේල්ස් කුමාර කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 163ක් පමණි. එහි දී ප්‍රවීන් ජයවික්‍රම සහ ප්‍රවීන් කුරේ කඩුලු 2 බැගින් දවා ගනිමින් පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.

ලකුණු 164ක තරමක් පහසු ඉලක්කයක් හඹා යාම සඳහා සෙබස්තියානු ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසියේ ෂනෙල් ප්‍රනාන්දු සමඟින් නිෂිත අභිලාෂ් ය. ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ලට එක්කිරීමට හැකි වූයේ ලකුණු 23ක් පමණක් වන අතර නඩුක ප්‍රනාන්දු විසින් නිෂිත අභිලාෂ්ව දවා ගනිමින් එම සබඳතාව බිඳ දමන්නට සමත් විය. කෙසේ නමුත් ඉන් අනතුරුව ෂනෙල් සමඟින් පිටියේ එක්වූ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ තවත් ක්‍රීඩකයෙක් වන නුවනිඳු ප්‍රනාන්දු දෙවන කඩුල්ල සඳහා ලකුණු 37ක සබඳතාවක් එක්කරමින් සෙබස්තියානු ඉනිම ස්ථාවර තත්වයකට රැගෙන ඒමට සමත් විය.

නමුත් සෙබස්තියානු ඉනිම ලකුණු 63ක් වෙද්දී ඔවුන් දෙදෙනාවම ක්‍රීඩාගාරය බලා හරවා යවමින් වේල්ස් කුමරුවන්ව තරගයේ ඉදිරියට රැගෙන එන්නට විශ්ව චතුරංග සමත් විය. කෙසේ නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වූ මලින්ත පීරිස් සහ නායක තරුෂ ප්‍රනාන්දු සිය 4 වන කඩුල්ල සඳහා ලකුණු 41ක තීරණාත්මක සබඳතාවක් එක්කරමින් නැවතත් තරගය සිය කණ්ඩායම දෙසට යොමු කර ගන්නට සමත් විය. කාවින්ද ප්‍රනාන්දු විසින් මලින්ත දවා ගැනීමත් සමඟ එම සබඳතාව බිඳ වැටුණු අතර ඉන් අනතුරුව පිටියට පැමිණියේ ජනිෂ්ක පෙරේරා ය.

පරදින තෙක්ම නොදුටු පැතිකඩ

අතේ තිබූ දේ කටට දාගත නොහැකි වූවා වාගේ යන පැරණි කියමන යළි සිහිගන්වමින් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය…

ඒ අනුව තරුෂ සමඟින් පිටියේ එක්වූ ජනිෂ්ක, කිසිදු පීඩනයකින් තොරව 5 වන කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 62ක සබඳතාවක් එක්කරමින් සෙබස්තියානු කණ්ඩායම පහසුවෙන් තරගයේ ජයග්‍රහණය කරා මෙහෙයවන්නට සමත් විය. එහි දී වේල්ස් කුමරුවන් අතින් ගිලිහුණු උඩපන්දුවකින් උපරිම ඵල නෙළාගත් නායක තරුෂ ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුට මනා සහයෝගයක් ලබා දුන් ජනිෂ්ක නොදැවී ලකුණු 34ක් වාර්තා කර ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය.

ඒ අනුව පන්දුවාර 46.1ක දී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් හඹා ගිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කණ්ඩායම් දෙක අතර සීමිත පන්දුවාර තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

වේල්ස් කුමාර විද්‍යාලය – පන්දුවාර 50 දී 9/163: ප්‍රින්ස් අලංක 40, සනෝජ් දර්ශික 38, සුවත් මෙන්ඩිස් 15: ප්‍රවීන් කුරේ 2/20, ප්‍රවීන් ජයවික්‍රම 2/21

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පන්දුවාර 46.1ක දී 4/166: තරුෂ ප්‍රනාන්දු 52*, ජනිෂ්ක පෙරේරා 34*, නුවනිඳු ප්‍රනාන්දු 21: විශ්ව චතුරංග 2/32

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<