Hayleys සහ CL Synergy අවසන් මහා තරගයට

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය 2023

784

2023 වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Hayleys Group A සහ CL Synergy Limited ක්‍රීඩකයින් අද  (13) සමත් වුනා.

Fairfirst Insurance සහ CL Synergy Limited

කටුනායක දී පැවති මෙම තරගයෙන් Fairfirst ක්‍රීඩකයින් පරදවා කඩුලු 8ක ජයක් ලබා ගැනීමට CL Synergy ක්‍රීඩකයින් සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Fairfirst ක්‍රීඩකයින්ට පන්දුවාර 31.1ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 62ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අනුක් ප්‍රනාන්දු ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව හෝ පසු කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී CL Synergy වෙනුවෙන් දිලුම් සුදීර සහ සහන් ආරච්චිගේ කඩුලු තුන බැගින් දවා ගත්තා.

ලකුණු 63ක පහසු ඉලක්කයක් හඹා ගිය CL Synergy ක්‍රීඩකයින් පන්දුවාර 6.5ක් අවසානයේ සිය ඉලක්කය පසු කළේ කඩුලු දෙකක් පමණක් දැවී තිබිය දීයි.

CL Synergy වෙනුවෙන් නවෝද් පරණවිතාන නොදැවී ලකුණු 38ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 22ක් රැස් කළා.

Fairfirst Insurance – 62/10 (31.1): අනුක් ප්‍රනාන්දු 36, දිලුම් සුදීර 3/10, සහන් ආරච්චිගේ 3/17.

CL Synergy Limited – 63/2 (6.5): නවෝද් පරණවිතාන 38*, චමිඳු වික්‍රමසිංහ 22.

CL Synergy Limited ක්‍රීඩකයින්ට කඩුලු 8ක ජයක්.

CDB A සහ Hayleys Group A

වෙළඳසේවා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් හිමි වුනේ Hayleys Group A කණ්ඩායමටයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් CDB A ක්‍රීඩකයින්ට පන්දුවාර 41.1ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 205ක් පමණයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු පන්දු 64ක් තුළ ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වූ අතර ධනංජය ද සිල්වා ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුනේ පන්දු 56ක් තුළයි.

අගනා පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 65ක් තුළ කඩුලු පහක් දවා ගැනීමට සමත් වෙද්දී, සංතුෂ් ගුණතිලක කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය Hayleys Group ක්‍රීඩකයින් පන්දුවාර 30.1 පමණක් වැය කරමින් ජයග්‍රාහී සීමාව පසු කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ටී. එම්. සම්පත් පන්දු 51ක් තුළ ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වූ අතර රොන් චන්ද්‍රගුප්ත ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුනේ පන්දු 68කට මුහුණ දෙමිනුයි.

ඔවුන්ට අමතරව නුවනිඳු ප්‍රනාන්දු පන්දු 38ක් තුළ ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර අශේන් බණ්ඩාර පන්දු 22කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.

CDB A – 205/10 (41.1): ඕෂධ ප්‍රනාන්දු 65, ධනංජය ද සිල්වා 48, සිතාර ගිම්හාන 26, ප්‍රභාත් ජයසූරිය 5/65.

Hayleys Group A – 209/3 (30.1): ටී. එම්. සම්පත් 61, රොන් චන්ද්‍රගුප්ත 57, නුවනිඳු ප්‍රනාන්දු 40*, අශේන් බණ්ඩාර 41*.

Hayleys Group A ක්‍රීඩකයින්ට කඩුලු 7ක ජයක්.

තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<