මොංගෝලියාව පරාජය කළ ශ්‍රී ලංකාව, තායිලන්තයට පරාජය වෙයි

28th Asian Table Tennis Team Championship 2025

107

ජාත්‍යන්තර මේසපන්දු සංගමය සහ ආසියානු මේසපන්දු සංගමය එක් ව 28 වැනි වරටත් සංවිධානය කරන ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ අද (11) තරගාවලියට එක් වූවා.  

ඒ අනුව ඔවුන් පළමුවෙන් ම සහභාගී වෙන්නේ මොංගෝලියාව හා සමඟ තරගයටයි. එහි දී තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන් අනතුරු ව පැවැති තායිලන්තය හා සමඟ තරගයේ දී තරග වට 3-0ක පරාජයකට මුහුණ දෙනවා.  

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් සහභාගී වෙන්නේ මොංගෝලියානු කණ්ඩායම සමඟයි. ඒ අනුව එම කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් ම තරග පිටියට පිවිසෙන්නේ ටමාදි කාවින්ද්‍යා. ඇයගේ ප්‍රතිවාදීනිය වූයේ මොංගෝලියාවේ 22 හැවිරිදි වියේ පසුවෙන Batmunkh Bolor-Erdene. ඇය මොංගෝලියන් ශූරිය ලෙසින් අවස්ථා 5ක දී අභිශේක ලබා ඇති අතර 2020 වසරේ ගිම්හාන ඔලිම්පික් උළෙල ද නියෝජනය කළ ක්‍රීඩිකාවක්.  

ඇය සමඟ පැවැති තරගයේ පළමු වට 2 දී ටමාදි කාවින්ද්‍යා පහසුවෙන් ම ජයග්‍රහණය කරනවා. ඒ 11-7ක් සහ 11-8ක් ලෙසයි. නමුත් ඉන් පසුව පැවැති වට 2 දී 11-9ක් සහ 11-3ක් ලෙසින් මොංගෝලියන් ක්‍රීඩිකාව ජයග්‍රහණය කරනවා. ඒ අනුව එම තරගය 2-2ක් ලෙසින් සම තත්ත්වයට පත් වෙනවා.  

අනතුරු ව පැවැති තීරණාත්මක අවසන් වටයේ දී ටමාදි කාවින්ද්‍යා තියුණු තරගයකින් අනතුරු ව ලකුණු 15-13ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගය 3-2ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.  

අනතුරු ව ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමට එක් වූයේ නායිකා බිමන්දි බණ්ඩාර. ඇය ගේ ප්‍රතිවාදිනිය වූයේ මොංගෝලියාවේ 21 හැවිරිදි වියේ පසුවෙන Uvgunbured Baljinnyam. ඇය සමඟ පැවැති තරගයේ දී 8-11, 11-7, 11-5ක් සහ 11-6ක් ලෙසින් තරගවට 3-1ක ජයග්‍රහණය ලබා ගැනීමට බිමන්දි බණ්ඩාර සමත් ‍වෙනවා.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන් අනතුරු ව තරගයට එක් වෙන්නේ ලෙසන්‍යා සෙතුම්දි. මොංගෝලියාවේ Bat-Erdene Egshiglen සමඟ පැවැති එම තරගය නිමා වෙන්නේ 3-2ක ජයග්‍රහණයක් ලෙසන්‍යා සෙතුම්දි සතු වෙමින්. ලකුණු පුවරුව දැක් වුණේ 10-12ක්, 11-5ක්, 13-11ක්, 10-12ක් සහ 12-10ක් ලෙසයි.  

එම ඉසව්ව සම්පූර්ණ තරග 5කින් සමන්විත වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3-0ක් ලෙසින් මොංගෝලියාව පරාජය කිරීමත් සමඟින් ඉතිරි තරග ද්විත්වය නොපවත්වා ම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු වෙනවා.   

එම තරගය එලෙසින් අවසන් වූව ද තායිලන්තය සමඟ පැවැති තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වෙන්නේ තරග 3-0ක පරාජයකට මුහුණ දීමටයි.  

එම තරගයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩිකාව වෙන්නේ ටමාදි කාවින්ද්‍යා. ඇයගේ ප්‍රතිවාදිනිය වූයේ 2020 වසරේ ගිම්හාන ඔලිම්පික් උළෙල ද නියෝජනය කළ 28 හැවිරිදි වියේ පසුවෙන Paranang Orawan.  

එම තරගය නිමා වෙන්නේ 11-3ක්, 11-1ක් සහ 11-6ක් ලෙසින් තරග වට 3-0ක පරාජයකට ටමාදි කාවින්ද්‍යාට මුහුණ දීමට සිදුවෙමින්.  

ඉන් අනතුරු ව පිටිය පිවිසි බිමන්දි බණ්ඩාර, Aueawiriyayothin Wanwisa හා තරගයට එක් වූ අතර එහි දී ඇයට ද සිදු වූයේ 6-11ක්, 9-11ක්, 11-8ක් සහ 9-11ක් ලෙසින් තරග වට 3-1ක පරාජයකට මුහුණ දීමටයි.  

අනතුරු ව ලෙසන්‍යා සෙතුම්දි සහ Khetkhuan Tamolwan අතර පැවැති තරගය ද තරග වට 3-0ක් ලෙසින් පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූවා. තරගයේ ලකුණු පුවරු දැක් වුණේ 4-11ක්, 5-11ක් සහ 3-11ක් ලෙසයි.  

28 වැනි ආසියානු මේසපන්දු කණ්ඩායම් ශූරතාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<