පැය කිහිපයක් තුළ ලෝක වාර්තා ද්විත්වයක් සමඟ Eugene උණුසුම් වෙයි

Diamond League Eugene 2025

195

2025 Diamond League මලල ක්‍රීඩා ලීගයේ Eugene තරග අදියර අද අලුයම (06) ක්‍රියාත්මක වුනා. 

2025 වසර සඳහා පැවැත්වෙන Diamond ලීගය මේ වන විට ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, මේ වන විට වත්මන් මලල ක්‍රීඩා ලෝකයේ කැපී පෙනෙන තරු රැසක් මෙම ලීගය වෙනුවෙන් සිය සහභාගීත්වය ලබා දී අවසන්. 

අද පැවැත්වුණු Eugene තරග අදියර තුළ පෙරට වඩා ක්‍රීඩා තරු රැසක් දක්නට ලැබුණු අතර, මෙහි දී නව ලෝක වාර්තා ද්විත්වයක් බිහි වීමත් විශේෂත්වයක්. 

Sha’Carri දැවැන්ත පසුබෑමක 

මීටර් 100 කාන්තා ඉසව්වේ හිටපු ලෝක ශූරියක් වන ඇමරිකානු ක්‍රීඩිකා Sha’Carri Richardson හට මෙම වසර එතරම් සුබ දායි එකක් වුනේ නැහැ. මෙම වසර තුළ තවමත් තත්පර 11 සීමාව ඉක්මවා යාමට සමත් නොවුනු ඇයට අද දිනයේ පැවැත්වුණු ඉසව්වේ ද හිමි වුනේ 09 වැනි ස්ථානයයි. එහි දී තත්පර 11.19ක තරග නිමි කාලයක් වාර්තා කල ඇය එය මෙම තරග වාරය තුළ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් කර ගත්තා. මේ අතර ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූරිය වන Julien Alfredට ද මෙම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් වූ අතර, මෙම සියලු තරු අබිබවා ගිය ඇමරිකානු ක්‍රීඩිකා Melissa Wooden විසින් තත්පර 10.75ක තරග නිමි කාලයක් ද සමඟ ඉසව්වේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

මෙම වසර Woodenගේ පෞද්ගලික හොදම දක්ෂතා දැක්වූ වසරක් ලෙස මේ වන විටත් සටහන් වී අවසන්. 

Faith Kipyegon සිය ලෝක වාර්තාව නැවත අලුත් කරයි 

මේ අතර කාන්තා මීටර් 1500 ඉසව්ව තමන්ගේ ඉසව්ව බව නැවත වරක් තහවුරු කිරීමට කෙන්යාවේ Faith Kipyegon විසින් සමත් වුනේ මිනිත්තු 3.48.68ක කාලයක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමිනුයි. 

මෙය මෙම ඉසව්ව සඳහා Kipyegon විසින් ලෝක වාර්තාවක් පිහිටවූ තෙවැනි අවස්ථාව ලෙසයි වාර්තා අතරට එක් වුනේ. එමෙන්ම මෙම ඉසව්ව මිනිත්තු 3.50 සිට මේ වන විට 3.48 දක්වා රැගෙන ඒමට ද ඇය සමත් වී තිබීම විශේෂත්වයක්. 

කෙන්යාවට තවත් ලෝක වාර්තාවක් 

මේ අතර කාන්තා මීටර් 5000 ඉසව්වේ ලෝක වාර්තාව ද අද අලුයම  අලුත් වුනා. 

කෙන්යානු ක්‍රීඩිකා Beatrice Chebet විසින් මෙම ඉසව්ව නිම කිරීමට වැය කළේ මිනිත්තු 13.58.06ක කාලයක් පමණක් වන අතර, මෙතෙක් ඉතිහාසයේ මෙම ඉසව්ව මිනිත්තු 14ට අඩුවෙන් නිමා කළ ප්‍රථමයා බවට පත් වීමට ද ඇය අද සමත් වීම විශේෂත්වයක්. 

කාන්තා මීටර් 3000 බාධක දිවීම 

මෙම ඉසව්ව නියෝජනය කළ බහරේන් දේශයේ Yavi Winfred විසින් මිනිත්තු 8.45.25ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. 

මෙය මෙම වසර සඳහා මෙතෙක් දක්වා ඇති හොඳම තරග නිමි කාලය මෙන්ම, නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වුනා. 

තවත් කැපී පෙනෙන දක්ෂතා කිහිපයක් 

මේ අතර කාන්තා දුර පැනීම ඉසව්ව ජය ගැනීමට වත්මන් ඔලිම්පික් ශූරී Tara Davis Woodhall විසින් සමත් වුනේ සිය අවසන් ප්‍රයත්නයෙන් මීටර් 7.07ක දුරක් තරණය කරමිනුයි. මෙය මෙම වසර සඳහා ක්‍රීඩිකාවක් විසින් දැක්වූ හොඳම දක්ෂතාව ලෙස ද වාර්තා අතරට එක් වුනා. 

මේ අතර කාන්තා යගුළිය විසි කිරීම ඉසව්ව නියෝජනය කළ ඇමරිකාවේ Chase jackson විසින් මීටර් 20.94ක දුරක් සමඟ නව තරග වාර්තාවක් කරා යාමට සමත් වුනා. 

එමෙන්ම කාන්තා කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ ඇමරිකානු ක්‍රීඩිකා Valarie Allman විසින් මීටර් 70.68ක දුරක් කවපෙත්ත විසි කරමින් තවත් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. 

මෙවර තරග අදියරේ ඇමරිකානු ආධිපත්‍යය තවදුරටත් තර කිරීමට සමත් වූ පිරිමි යගුලිය විසි කිරීම ඉසව්ව නියෝජනය කළ Joe Kovacs විසින් මීටර් 22.48ක දුරක් සටහන් කරමින් මෙම වසර සඳහා ඉසව්වේ හොඳම දක්ෂතාව සටහන් කිරීමට සමත් වුනා. 

මේ අතර Diamond League තරග වලට අදාළ ව නොවූව ද අද උදෑසන කාන්තා මීටර් 400 තරග ඉසව්වක් ද ක්‍රියාත්මක වුනා. මෙහි දී වත්මන් මීටර් 400 කඩුලු මතින් දිවීමේ ලෝක ශූරි Sydney Levrone McLaughlin විසින් තත්පර 49.43ක කාලයක් වාර්තා කරමින් මෙම තරග වාරය සඳහා සිය පෞද්ගලික හොඳම දක්ෂතාව සටහන් කිරීමට සමත් වුනා. 

පිරිමි මීටර් 100 අතිශය උණුසුම් වෙයි 

මේ වන විට ලෝක මලල ක්‍රීඩාවේ ඉහළම අවධානය හිමි කර ගෙන ඇති ක්‍රීඩකයා ලෙස ජැමෙයිකාවේ Kishane Thompson හඳුන්වා දිය හැකි. 

ඔහු පසුගිය දා මෙම ඉසව්ව වෙනුවෙන් තත්පර 9.75 තරග නිමි කාලයක් වාර්තා කළ අතර එය ලොව මෙතෙක් මෙම ඉසව්ව වෙනුවෙන් වාර්තා වූ 06 වැනි හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා. එමෙන්ම 2015 වසරේ දී Justin Gatlin විසින් තත්පර 9.74ක කාලයක් වාර්තා කිරීමෙන් පසුව වසර දහයක් ගෙවීමෙන් පසුව නැවත 9.75ක කාලයක් වාර්තා වීමත් විශේෂත්වයක්. 

Thompsonගේ මෙම දක්ෂතාව නිසාම සමස්ත ලෝකයම ඔහු දෙස බලා හිඳිද්දී, ඔහු අද අලුයම Eugene ධාවන පථයට පිවිසුණා. මෙහි දී ඔහු කිසිදු අභියෝගයකින් තොරවම ඉසව්ව ජය ගැනීමට සමත් වුනේ තත්පර 9.85ක තරග නිමි කාලයක් ද සමඟිනුයි. 

මෙම තරගයට Trayvon Bromell, Ackeem Blake, Christian Coleman වැනි සුපිරි ධාවකයකින් ද සහභාගී වුනා. නමුත් ඔවුන් හා Thompson අතර විශාල පරතරයක් නිර්මාණය වී තිබුණා. 

Tebogo පහසු ජයක් කරා 

මේ අතර පිරිමි මීටර් 200 ඉසව්ව ද අද අලුයම ක්‍රියාත්මක වූ අතර, ඔලිම්පික් පදක්කම් ලාභී බොට්ස්වානා හි Letsile Tebogo විසින් මෙම ඉසව්ව සඳහා තත්පර 19.76 කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. ඔහුගේ මෙම තරග නිමි කාලය මෙම වසර සඳහා වාර්තා වූ හොඳම කාලය ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. 

මීටර් 400 Matthew Hudson Smith නමට 

පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා Matthew Hudson Smith මෙන්ම, Kirani James, Christopher Bailey, Alexander Doom වැනි නම් දැරූ ක්‍රීඩකයින් රැසක් සහභාගී වුනා. ඒ අතරින් Matthew Hudson Smith තත්පර 44.10ක කාලයක් සමඟ ඉසව්ව ජය ගත් අතර, වසර ගණනාවක් මුළුල්ලේ මෙම ඉසව්ව වෙනුවෙන් කැපී පෙනෙන නාමයක් වූ Kirani James තත්පර 44.80ක කාලයක් වාර්තා කරමින් 07 වැනි ස්ථානයට පත් වුනා. 

Dos Alison Santos සිහින හඹා යයි 

පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ තරග වදින ක්‍රීඩක නාමයක් වන බ්‍රසීල ක්‍රීඩක Dos Alison Santos විසින් අද අලුයම තත්පර 46.65ක කාලයක් වාර්තා කරමින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම ඉසව්ව සඳහා ඔහුට අමතරව Rai Benjamin මෙන්ම CJ Allen යන ක්‍රීඩකයින් ද සහභාගී වුනා. 

2025 Diamond League තරගාවලියේ මීළඟ තරග අදියර එළඹෙන 11 වැනි දා Monaco හිදී පැවැත්වීමට නියමිතයි. 

එම තරග තොරතුරු ද ඇතුළුව දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<