ශ්‍රී ලංකා යොවුන් පාපන්දු ක්‍රීඩිකාවන්ට දරුණු පරාජයක්

19න් පහළ දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය 2021

256

මේ දිනවල බංග්ලාදේශයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා පාපන්දු ශූරතාවයේ දී සහභාගී වූ තරග සියල්ලෙන්ම දරුණු පරාජයන් ලැබීමට ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට සිදු වුනා.

ඒ අනුව කණ්ඩායම් 5ක් තරග වැදුණු මෙම තරගාවලියේ තමන් සහභාගී වූ තරග සියල්ල පරාජයට පත්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වුනේ අවසන් ස්ථානයයි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගී වූ පළමු අවස්ථාව ද මෙයයි.

ශ්‍රී ලංකාව සහ භූතානය

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 5-0ක් ලෙස පරාජය කරමින් පහසු ජයක් ලබා ගැනීමට භූතාන ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කළ භූතානය වෙනුවෙන් Pema, Tshering සහ Sonam පළමු අර්ධයේ දී ගෝල හතර ලබා ගැනීමට සමත් වූ අතර දෙවැනි අර්ධයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා සෙනවිගේ සිදු කළ වරදක් නිසාවෙන් භූතානයට Own Goal අවස්ථාවක් හිමි වුනා.

තරගයේ අවසන් ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 00- 05 භූතානය

ගෝල ලබා ගත් ක්‍රීඩිකාවන්,

  • භූතානය: Pema 21’ & 22’ ,Tshering 27’ , Sonam සෙනවිගේ 85’ (OG)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

භූතානය හමුවේ ලද පරාජයෙන් පසු ඉන්දියාව සමඟ තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එම තරගයෙන් ද ගෝල 5-0ක පරාජයක් ලබා ගැනීමට සිදු වුනා.

ඉන්දීය කණ්ඩායම පළමු අර්ධයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසරණ කරමින් ගෝල 4ක් වාර්තා කිරීමට සමත් වූ අතර Santosh, Estrocio සහ N. Linda යන ක්‍රීඩිකාවන් විසින් එම ගෝල වාර්තා කළා.

දෙවැනි අර්ධයේ 82 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඉන්දීය ක්‍රීඩිකා Priyangka තරගයේ පස්වැනි ගෝලය වාර්තා කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි.

තරගයේ අවසන් ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 00- 05 ඉන්දියාව

ගෝල ලබා ගත් ක්‍රීඩිකාවන්,

  • ඉන්දියාව: Santosh 2’, Estrocio 5’ , N. Linda 9’ & 41’, Priyangka 82’

ශ්‍රී ලංකාව සහ නේපාලය

පෙර තරගවල දී ලද දරුණු පරාජයන් සමඟ තෙවැනි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහිව ගෝල 6-0ක ජයක් ලබා ගැනීමට නේපාල ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

පෙර තරගවල දී මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසාවෙන් පළමු අර්ධයේ දී ගෝල 3ක් රැස් කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට නේපාල ක්‍රීඩිකාවන් වන Rashimi, Sabita සහ Menukaට හැකි වුනා.

දෙවැනි අර්ධයේ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කළ නේපාලය වෙනුවෙන් තවත් ගෝල 3ක් රැස්කර දීමට Rashimi, Rajani සහ Saloni හට හැකි වුනේ සිය කණ්ඩායමට දැවැන්ත ජයක් හිමි කර දෙමිනුයි.

තරගයේ අවසන් ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 00 – 06 නේපාලය

ගෝල ලබා ගත් ක්‍රීඩිකාවන්,

  • නේපාලය: Rashimi 5’&85’ , Sabita 6’ , Menuka 43’ , Rajani 48’ , Saloni 53’

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ අවසන් තරගය වූ සත්කාරක බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සමඟ පැවති තරගයෙන් ගෝල 12-00ක් ලෙස දැවැන්ත පරාජයක් සඳහා හිමිකම් කියන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.

ආරම්භයේ සිටම තරගයේ පාලනය සියතට ගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පළමු අර්ධය තුළ රැස් කළ ගෝල සංඛ්‍යාව 4ක්. ඉන් ගෝල ද්විත්වයක් Rituporna රැස් කරද්දී Sapna සහ Saheda අතරේ එක් ගෝලය බැගින් බෙදී ගියා.

දෙවැනි අර්ධයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් එම අර්ධය තුළ ගෝල 8ක් රැස් කරද්දී, Afeida ගෝල ත්‍රිත්වයක්, Saheda ගෝල දෙකක් රැස් කිරීමට සමත් වුනා.

තරගයේ අවසන් ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 00 – 06 බංග්ලාදේශය

ගෝල ලබා ගත් ක්‍රීඩිකාවන්,

  • බංග්ලාදේශය: Sapna 2’, Rituporna 7’& 43’ ,Saheda 16’,49’&87’ , Akhi 47’, Afeida 54’, 70’& 83’, Anuching 77’ , Unnoti 84’

මෙම තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහිව ගෝල 28ක් ලබා ගැනීමට ප්‍රතිවාදී කණ්ඩායම් සමත්ව තිබූ නමුත් එකඳු ගෝලයක් හෝ රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නොහැකි වීම කැපී පෙනුණා.

තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි තැන දිනා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ සහ ඉන්දියාවට හැකි වූ අතර අවසන් මහා තරගය එළඹෙන බදාදා (22) පැවැත්වීමට නියමිතයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<