අවසන් මොහොතේ CH ප්‍රහාරය වතුරේ – CR ජය ගනී

490
CH&FC v CR&FC

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ අවසාන සති අන්තය ආරම්භ කරමින් අද (2) ප්‍රබල CR&FC ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා සමාජය ගැටුණේ කොළඹ තුරඟ තරග පිටියේ දීයි. සුපිරි තරගයකට පසු ලකුණු 33-38ක් ලෙස තරගය ජය ගත්තේ CR&FC ක්‍රීඩා සමාජයයි.

නැවියන් ජය පැන් බොද්දී ගුවන් භටයින් හිස් අතින් ගෙදර යයි

සති 15කට ආසන්න කාලසීමාවක් පුරාවට ශ්‍රී ලාංකීය රග්බි පිටිය දෙවනත් කරමින් මෑත ඉතිහාසයෙහි..

කෙසේ වෙතත් සුපිරි ක්‍රීඩා විලාසයකින් මෙවර තරගාවලිය ක්‍රීඩා කළ CH&FC ක්‍රීඩා සමාජය ලීග් රග්බි ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ සාර්ථක තරගාවලියක් ක්‍රීඩා කරමිනි.  

සැමුවෙල් මධුවන්තගේ පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු අර්ධයේ ගෞරව සම්පූර්ණයෙන්ම CR කණ්ඩායම සතු කර ගත්තේ සිය වේගවත් පසු පෙළ කිහිපවරක්ම භාවිතා කරමිනි. කෙසේ වෙතත් දෙවන අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ CH ක්‍රීඩකයින් නොසිතූ ලෙස අඛණ්ඩව උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් නැවත තරගයට පිවිසුනත් කාලය ඔවුන් පසුකර ගියේ තරගයට සුපිරි නිමාවක් ලබා දෙමිනි.

තරගයේ පළමු වරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වූයේ CR කණ්ඩායමයි. 7 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගත් තරින්ද රත්වත්ත ලකුණු තුනක් CR කණ්ඩායමට එකතු කරන්නට සමත් විය. (CR 03-00 CH)

CR ආක්‍රමණයට හොඳ පිළිතුරක් ලබා දුන් CH ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ යොදා ගනිමින් CR අර්ධය ආක්‍රමණය කළ අතර Scrum අවස්ථාවක සිට ක්ෂණිකව පන්දුව ලබා ගත් අවිශ්ක ලී උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ CR ආරක්ෂක වළලු බිඳිමිනි. සැමුවෙල් මධුවන්ත හට එය ඉතා පහසු ප්‍රවර්තනයක් විය. (CR 03-07 CH)

ඊට මිනිත්තු තුනකට පසු 16 වන මිනිත්තුවේ දී ශේමාල් වීරසේකර පිටියේ සීමාව අසලින්ම සුපිරි ධාවනයක නිරත වූයේ CH ක්‍රීඩකයින්ගේ බාධා කිරීම් මග හරිමිනි. ඔහුගෙන් පන්දුව ලබා ගත් වජිඩ් ෆව්මි අලංකාර ලෙස ලකුණු රැස්  කළේ නැවත වතාවක් CR තරගයේ පෙරමුණට ගෙන එමිනි. තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගන්නට සමත් විය. (CR 10-07 CH)

කොළඹයි නුවරයි ගැටෙන අලුත් තරගාවලියක් තිබ්බොත්?

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා රග්බි පිටිය පදනම් කරගෙන භූමිය කොටස් දෙකකට බෙදුණේ..

නැවත තරගය ආරම්භ වීමත් සමඟ ඉහළ ගිය පන්දුව රැක ගත් CR ක්‍රීඩකයෝ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර එම ක්ෂණික ආක්‍රමණයෙන් උපරිම ඵල නෙළා ගැනීමට රීසා රෆයිඩීන් සමත් වූයේ 20 වැනි මිනිත්තුවේ දී ලකුණු රැස් කරමිනි. එහි ප්‍රවර්තනය අවාසනාවන්ත ලෙස ගෝල කණුවේ වැදී ඉවත ගියේය. (CR 15-07 CH)

33 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ CH ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ යොදා ගනිමින් Line out අවස්ථාවක සිට පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ෂේනුක හේරත් ධවල රේඛාව ඉක්මවා ගියේ දෙවන CH උත්සාහක දිනුම වාර්තා කරමිනි. සැමුවෙල් මධුවන්ත ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත. (CR 15-12 CH)

අනතුරුව මිනිත්තු දෙකක් තුළ CH ක්‍රීඩකයින් යුගලයක් වන මතීෂ සරත්චන්ද්‍ර හා සුදර්ශන මුතුතන්ත්‍රී කහ කාඩ්පත් ලබා පිටියෙන් ඉවත් වූ අතර ඒ සමඟම CH කණ්ඩායම පත්වුනේ දැඩි අර්බුදයකටයි.

37 වන මිනිත්තුවේ දී තරින්ද දඬුවම් පහරකින් ලකුණු රැස් කළ අතර ක්ෂණිකව නැවත තරග ආරම්භයෙන් පසුව ක්‍රියාත්මක වූ රීසා රෆයිඩීන් දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි. තරින්ද හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුණේ නැත. (CR 23-12 CH)

පළමු අර්ධය: CR&FC කණ්ඩායම 23 (3T, 2P, 1C) – 12 (2T, 1C) CH&FC කණ්ඩායම

පළමු අර්ධයේ ලද පසුබෑම නිසාම දෙවන අර්ධයේ දී විවේක ගන්වා තිබූ, ඇඩම් ගවුඩර්, හිරන්ත පෙරේරා, සුදම් සූරියආරච්චි, යෝෂිත රාජපක්ෂ හා ප්‍රසාත් මධුසංක වැනි ප්‍රබල ක්‍රීඩකයින් පිටියට එක් කිරීමට පුහුණුකරු රොනී ඉබ්‍රහිම් තීරණය කරන ලදි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කෙසේ වෙතත් නැවත තරගය ආරම්භ වීමෙන් අනතුරුව 42 වන මිනිත්තුවේ දී ම තරින්ද රත්වත්ත අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ පහසුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමිනි. එහි ප්‍රවර්තනයත් සාර්ථක වුනේ නැහැ. (CR 28-12 CH)

අනතුරුව තවත් මිනිත්තු තුනක් ගතවෙද්දී තරින්ද රත්වත්ත නැවත වරක් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේ CH කණ්ඩායමට ක්‍රීඩකයින් දෙදෙනෙක් අහිමි වීමේ වාසිය උපරිම ලෙස ප්‍රයෝජන ගනිමිනි. කෙසේ වෙතත් 63 වන මිනිත්තුවේ ලද දඬුවම් පහර සාර්ථක කරගන්නට ඔහු සමත් වූයේ නැත. (CR 31-12 CH)

දඬුවම් පහරක් අසාර්ථක වුවත් සිය උත්සාහක අත් නොහළ තරින්ද පන්දුවත් සමඟ සුපිරි ධාවනයක නිරත වූ අතර පන්දුවට පා පහර දී පන්දුව ගුවන්ගත කළ ඔහු පන්දුව රැකගෙන සිය දෙවන උත්සාහක දිනුම හා අවසන් CR උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. එම උත්සාහක දිනුම තරගයේ තීරණාත්මකම උත්සාහක දිනුම බව ඔහු ඒ මොහොතේ දැන සිටියේ නැත. රීසා රෆයිඩීන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (CR 38-12 CH)  

සුපිරි සති අන්තයේ ශූරයින්ගේ රැඟුම් කෙසේ නිමා වෙයි ද?

තරගකාරී සති 15 අවසානයේ 2018/19 අන්තර් සමාජ රග්බි ශූරතාවයේ කුසලානයේ අවසන් අසුන්…

අනතුරුව ගත වූ මිනිත්තු පහළොව සම්පූර්ණයෙන් සිය ග්‍රහණයට ගන්නට CH කණ්ඩායම සමත් වූයේ ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වා ගනිමිනි.

67 වන මිනිත්තුවේ සිට මෙතෙක් නිදා සිටි CH පසුපෙළ අවදි වූ අතර නිශෝන් පෙරේරා ලකුනු රැස් කළේ සුපිරි ධාවනයක් සමඟිනි. සැමුවෙල් ඉතා ඉක්මනින් හා අලංකාර ලෙස එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සමත් විය. (CR 38-19 CH)

72 වන මිනිත්තුවේ දී සුදර්ශන මුතුතන්ත්‍රී CR ආරක්ෂක වළලු බිඳ හෙළමින් ලකුණු පරතරය තවත් අඩු කළේ CR කණ්ඩායමට සිතා ගැනීමට වත් ඉඩක් ඉතිරි නොකරමිනි. සැමුවෙල් කාලය නාස්ති නොකර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සමත් විය. (CR 38-26 CH)

අවන්ත ලීගේ සුපිරි ධාවනයකට පසු පන්දුව ලබා ගත් සුදම් සූරියආරච්චි 77 වැනි මිනිත්තුවේ දී ලකුණු රැස් කළේ රැස්ව සිටි CH ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි. සැමුවෙල් එම ප්‍රවර්තනයත් ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (CR 38-33 CH)

CR ක්‍රීඩකයින් දුර්වලතාවලින් CH කණ්ඩායම අවසන් තත්පර කිහිපයේ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළත් CR ක්‍රීඩකයින් කෙසේ හෝ ජයග්‍රහණයට එල්ලී සිටින්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: CR&FC කණ්ඩායම 38 (5T, 3P, 2C) – 33 (5T, 4C ) CH&FC කණ්ඩායම  

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • CH&FC: සුදම් සූරියආරච්චි (1T), සුදර්ශන මුතුතන්ත්‍රී (1T), ෂේනුක හේරත් (1T), අවිශ්ක ලී (1T), නිශෝන් පෙරේරා (1T), සැමුවෙල් මධුවන්ත (4C)
  • CR & FC: තරින්ද රත්වත්ත (2T, 3P, 1C), රීසා රෆයිඩීන් (2T, 1C), වජිඩ් ෆව්මි (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<