දිමුත් ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු වෙයි

1746
Karunaratne eventually ran out of partners but his job was complete

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (12) අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 287 පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටිය හ.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් සටනේ වැඩි බර කා හට ද?

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න කාලයක් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය…

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ ශ්‍රී ලංකා ආරම්භක වමත් පිතිකරු දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත ඉනිම කැපී පෙණුනි. ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවනීය තත්ත්වයේ තැබීමට සමත් වෙද්දී ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ පෑ දක්ෂතා සංචාරක ක්‍රීඩකයන් පළමු දිනයේ දී ම සලිත කරවීමට සමත් විය.

දිමුත් ආරම්භක ක්‍රීඩකයා ලෙසින් පිටියට පිවිස නොදැවී සිටිමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 158කි. පන්දු 222ක් පුරා පිටියේ රැඳී සිටි දිමුත්ගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහරක් ඇතුලත් විය. ඔහු අද ලබා ගත්තේ තම ටෙස්ට් තරග දිවියේ 8 වැනි ශතකයයි. මෙම ශතකය දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව දිමුත් වාර්තා කළ මංගල ශතකය ද වෙන අතර තමන්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම් අතර තෙවැනි තැනට පත් වූ ඉනිමයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිදායක ලෙසින් කටයුතු කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලත් චෝදනා නිසා දිනේෂ් චන්දිමාල් අද තරගයට නම් කර නොතිබූ අතර නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කිරීම පැවරී තිබුණේ සුරංග ලක්මාල් වෙත ය. දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙය වූයේ ෆෆ් ඩියු ප්ලේසිස් ය.

තරග තීරක ශ්‍රීමත් රිචී රිචර්ඩ්සන් අතින් ඉහළට විසි වුන කාසිය ගාලු තණතීරුව මත පතිත වූයේ සුරංග ලක්මාල්ට වාසිය හිමිකර දෙමිනි. ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න ය. ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකානු වේගපන්දු බල ඇණියේ අභියෝගය ඉදිරියේ තම පිති ඉතා පරිස්සමින් පාවිච්චි කරන අයුරකි දැක ගත හැකි වූයේ. එහෙත් සෑම අවස්ථාවකම පන්දුවාරයකට ලකුණු 4ක සාමාන්‍යයක් රඳවා ගැනීමට ඔවුන් සමත් වීම කැපී පෙණුනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

කෙසේ වෙතත් තරගයේ යැවුණ 11 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී මේ ඒකාග්‍රතාව බිඳ හෙළීමට කගිසෝ රබාඩා සමත් විය. ඉහළ නැගි පන්දුවකට සිරුරේ සමබරතාව ද පවත්වා ගැනීමට අපොහොසත් වූ ධනුෂ්ක ගුණතිලක කඩුලු රකින ක්‍රීඩක කිවින්ටන් ඩි කොක් වෙත ඉතා පහසු උඩ පන්දුවක් දී දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 44ක් විය. ගුණතිලක පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.

අනතුරුව පිටියට පිවිසියේ ධනංජය ද සිල්වා ය. ඔහු හා එක්වූ දිමුත් කරුණාරත්න ලකුණු පුවරුව 70ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. කඩුල්ල තුළටම පැමිණි තබ්‍රයිස් ශම්සිගේ පන්දුවකට ධනංජයගේ ඉරණම විසදෙද්දී ඔහු ලබා සිටියේ ලකුණු 11ක් පමණි.

නවක පිතිකරු වූයේ ලකුණු 2000 සමාජයේ සාමාජිකත්වය ආසන්නයේ සිටි කුසල් මෙන්ඩිස් ය. කේශව් මහරාජ්ගේ පන්දුවකට ස්විප් පහරක් එල්ල කරමින් ලබා ගත් ලකුණු 4කින් මෙන්ඩිස් තම ටෙස්ට් ක්‍රිකට් පිටියේ 2000 වැනි ලකුණු වාර්තා කර ගත්තේ ය.

පළමු දිනයේ තරගය දිවා විවේකයට නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 93ක් ලබා සිටි අතර ඒ වෙද්දී ආරම්භක පිතිකරු දිමුත් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද, කුසල් මෙන්ඩිස් පන්දු 20කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ද ලබා සිටිය හ.

දිවා විවේකයෙන් අනතුරුව වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට මෙන්ඩිස්ට ඉඩ ලැබුණේ නැත. ලකුණු පුවරුව 115ක් වෙද්දී ඩේල් ස්ටේන්ගේ පන්දුවකට කගීසෝ රබාඩා අතට උඩ පන්දුවක් ලබා දෙමින් මෙන්ඩිස් ක්‍රීඩා විවේකාගාරය වෙත නැවත පිය නැගුවේ ලකුණු 24ක් තම ගිණුමට එක් කර ගනිමිනි.

එතැන් සිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කැරකැවුණේ ඉතා මන්දගාමී ලෙසිනි. තරගයේ  36 වැනි පන්දුවාරයේ දී ඇන්ජලෝ මැතිව්ස් (01) සහ තම මව්බිමේ දී තම පළමු ජාත්‍යන්තර තරගයට සහභාගී වෙන රොෂේන් සිල්වා (00) පන්දු තුනක් තුළ දවා ගැනීමට කගීසෝ රබාඩා සමත් විය. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5කට ලකුණු 119ක් ලෙසිනි.

දිමුත්ට එක් වූ නිරෝෂන් දික්වැල්ල 6 වැනි කඩුල්ලේ දී කණ්ඩායම ගොඩ ගැනීමට යම් මෙහෙයක් කළ ද එය වනසා දැමීමට තබ්‍රයිස් ශම්සි සමත් විය. දික්වැල්ලගේ ඉනිම ලකුණු 18කට සීමා වූ අතර ඒ සමඟම ගාලු පිටියට වැටි වර්ෂාව තරගය නතර කිරීමට හේතු විය. තේ විවේකය ද ඊට සමගාමීව ගත් අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 161ක් සේ සටහන් ව තිබුණි.  

තේ විවේකයෙන් අනතුරුව දිල්රුවන් පෙරේරා පිටියට පිවිසිය ද ඔහුට ද තම කණ්ඩායමට එතරම් දායකත්වයක් දැක්වීමට හැකි වූයේ නැත. තේ විවේකයෙන් අනතුරුව යැවුණ 5 වැනි පන්දුවේ දී දිල්රුවන් (01) ගේ ඉනිම නිමා විය. අනතුරුව යැවුණ 20 වැනි පන්දුවේ දී රංගන හේරත් දුවද්දී දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූයේ ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 176ක් ලෙසින් අසරණ කරමිනි.

කණ්ඩායමේ එකම වේගපන්දු යවන්නා ලෙසින් නම් ලද නායක සුරංග ලක්මාල් කඩා වැටෙමින් පැවති තම ඉනිම ගොඩ ගැනීමට සුවිශේෂී දායකත්වයක් දැක්විය. ඔහු දිමුත් හා එක් වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 224ක් දවා රැගෙන ඒමට සමත් විය. ලක්මාල් තම කඩුල්ල අහිමි කර ගන්නා විට පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියේ ය.

ශ්‍රී ලංකා A නායකත්වය වෙනස් වේ; සංචිතයේත් වෙනස්කම්

එළඹෙන 17 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ A – ශ්‍රී ලංකා A නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ…

අවසාන කඩුල්ල ලෙසින් පිටියට එක් වූ ලක්ෂාන් සඳකැන් කවුරුත් නොසිතූ සහයෝගයක් එක් අන්තයක ඉතිරිව සිටි ආරම්භක පිතිකරු දිමුත්ට ලබා දුන්නේ ය. ඔවුන් දෙදෙනා අතර අවසන් කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 63කි. දිනයේ යැවුණ 79 වැනි පන්දුවාරයේ දී සඳකැන් තම කඩුල්ල අහිමි කර ගන්නා විට පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන කගීසෝ රබාඩා ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත් අතර තබ්‍රයිස් ශම්සි ලකුණු 91කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ ඉනිම පාලනය කිරීමට ශ්‍රී ලංකා නායකයා විශ්වාසය තැබුවේ දඟපන්දු යවන්නන් කෙරෙහි ය. ඒ අනුව පන්දු යැවීමට කැඳවූයේ රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා ය. මොවුන් අතරින් රංගන හේරත් තම දෙවැනි පන්දුවාරයේ දී ම සාර්ථක ඵල නෙළා ගත්තේ ආරම්භක පිතිකරු එයිඩින් මැක්රම් (00) දවා ගනිමිනි.

තරගය පළමු දිනයට අවසන් වෙද්දී ඩීන් එල්ගර් (04) සහ සැදෑ ආරක්ෂක පිතිකරු කේශව් මහරාජ් (00) නොදැවී පිටියේ රැඳී සිටිය හ.

හෙට (13) තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 287 (78.4) ධනුෂ්ක ගුණතිලක 26, දිමුත් කරුණාරත්න නොදැවී 158, කුසල් මෙන්ඩිස් 24, නිරෝෂණ දික්වැල්ල 18, ලක්ෂාන් සඳකැන් 25, කගීසෝ රබාඩා 4/50, තබ්‍රයිස් ශම්සි ලකුණු 3/91

දකුණු අප්‍රිකාව; පළමු ඉනිම කඩුල්ලක් දැවී 04 (4.0) රංගන හේරත් 1/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<