මෙවර පාපන්දු ලෝක කුසලානයේ සම්මාන දිනූ ක්‍රීඩකයෝ

1089

සාම්ප්‍රදානුකූලව සෑම FIFA පාපන්දු ලෝක කුසලානයකටම අනතුරුව තරගාවලිය පුරා දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් හට සම්මාන ප්‍රදානය කරනවා. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය අවසාන වීමෙන් පසු මොස්කවී හිදී තරගාවලිය පුරා දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අගය කළ අතර සම්මාන ලාභී සියලුම ක්‍රීඩකයින් අවසන් පූර්ව වටයට පිවිසුණු බෙල්ජියම, එංගලන්තය ක්‍රොඒෂියාව හා ලෝක ශූර ප්‍රංශය අතර බෙදී යෑම විශේෂත්වයක්.

ප්‍රංශ අවදානම් කළමනාකරණයේ ආදර්ශය – ඩිඩියර් ඩෙෂාම්ප්

වීරසිංහ බියගුල්ලෙකු විය හැකිය. ගුණරත්න ගුණමකුවෙකු විය හැකිය. එහෙත් ඩෙෂාම්ප් (Deschamps) සැබවින්ම “චෑම්ප්”(Champ) කෙනෙකි, ශූරයෙකි.

Adidas රන් පාපන්දුව – ලුකා මොඩ්රික්

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමිවන Adidas රන් පාපන්දුව මෙවර දිනාගත්තේ ක්‍රොඒෂියානු කණ්ඩායමේ නායක ලුකා මොඩ්රික්. FIFA තාක්ෂණික කමිටුව සම්මානය සඳහා ක්‍රීඩකයින් ලැයිස්තුගත කළ අතර මාධ්‍ය ආයතන වල නියෝජිතයින්ගේ ඡන්දයෙන් මෙම සම්මාන ක්‍රීඩකයින් තෝරා ගන්නා ලදි.  

පෙරළිකාර ක්‍රොඒෂියානු කණ්ඩායම අවසාන මහා තරගය තෙක් රැගෙන ඒමට පෙරමුණ ගත මැදපෙළ ක්‍රීඩක ලුකා මොඩ්රික් තරගාවලිය පුරා ක්‍රොඒෂියාව වෙනුවෙන් ඉතා වෙහෙස වී දක්ෂ ලෙස ක්‍රීඩා කළේය.    

ගෝල දෙකක් හා ගෝල සඳහා සහය දීම් දෙකක් ලුකා සිය නමට ඉදිරියෙන් සනිටුහන් කර ගත් අතර ක්‍රොඒෂියානු කණ්ඩායමේ ක්‍රීඩා රටාව සම්පූර්ණයෙන්ම පාලනය කළ ඔහු පන්දු යොමු කිරීම් 439ක් ද සාර්ථක කර ගන්නා ලදි.

Adidas රිදී පාපන්දුව – ඊඩන් හැසාඩ්

බෙල්ජියම් කණ්ඩායම සිය පාපන්දු ඉතිහාසයේ හොඳම ලෝක කුසලාන අවසානය සනිටුහන් කරමින් මෙවර ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනා ගත් අතර ප්‍රබල බෙල්ජියම් බලඇණිය තරගාවලියේ වැඩිම ගෝල වාර්තා කර ගත් කණ්ඩායම වෙමින් ගෝල 16ක් වාර්තා කර ගැනීමට සමත් විය.

ඊඩන්ගේ දක්ෂ ලෙස පන්දුව ඉදිරියට ගෙන යාමේ හැකියාව (dribbling skills) හා සුපිරි වේගය නිසා ප්‍රතිවාදී ආරක්ෂක වළලු රැසක් බිඳ වැටුණු අතර හැසාඩ් ගෝල තුනක්, සහය දීම් දෙකක් හා විශිෂ්ට ‘dribble’ අවස්ථා 19ක් සනිටුහන් කළේ බෙල්ජියම් කණ්ඩායමේ සාර්ථකත්වයට මග සකසමින්.

Adidas ලෝකඩ පාපන්දුව හා Adidas රිදී පාවහන – Antoine Griezmann  

ප්‍රංශ කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා විශාල සේවයක් කළ Griezmann ගෝල හතරක් හා සහ යදීම් දෙකක් සමඟින් තරගාවලිය නිමා කළ අතර ප්‍රංශයට සිය දෙවන ලෝක කුසලානය දිනා දීමට ඔහුගේ සේවය අතිමහත්ය.

Griezmann ගෝල හතරෙන් තුනකම ඉතා වටිනා අවස්ථාවල දී වාර්තා වූ දඬුවම් පහරවල් වූ අතර, ඕස්ට්‍රේලියාව එරෙහිව, ආර්ජෙන්ටිනාවට එරෙහිව, උරුගුවේ රාජ්‍යයට එරෙහිව  හා අවසාන මහා තරගයේ ක්‍රොඒෂියාවට එරෙහිව ඔහු ගෝල වාර්තා කළේය.

Adidas රන් පාවහන – හැරී කේන්

එංගලන්ත නායක හැරී කේන් ගෝල හයක් සමඟින් මෙවර ලෝක කුසලානය නිමා කළ අතර එයින් ගෝල තුනක්ම දඬුවම් පහර මගින් හිමි වුන ගෝල වීම විශේෂත්වයක් විය. කේන්ගේ නායකත්වයෙන් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය දක්වා පැමිණි අතර පැනමා කණ්ඩායමට එරෙහිව ඔහු ගෝල ත්‍රිත්වයක් ද වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

කොලොම්බියාවට එරෙහිව 16  දෙනාගේ වටයේ තරගයෙන් පසු ඔහු එකදු ගෝලයක් හෝ රැස්කර ගැනීමට අසමත් වූ අතර ඒ අඩුපාඩුව එංගලන්තයට තදින්ම දැනුණේ ඔවුන්ට තෙවැනි ස්ථානයත් අහිමි කරමින්.

Adidas ලෝකඩ පාවහන – රොමේලු ලුකාකු

පළමු වටයේ දී බෙල්ජියමේ ප්‍රධානතම අවිය වූ ලුකාකු ගෝල හතරක් වාර්තා කර ගැනීමට සමත් වූයේ පැනමාවට එරෙහිව ගෝල දෙකක් හා ටියුනීසියාවට එරෙහිව ගෝල දෙකක් වශයෙන්.

16 දෙනාගේ වටයේ සිට ලුකාකුගේ ක්‍රීඩා රටාවේ පසුබෑමක් දක්නට ලැබුණු අතර ඉතා ආසන්න අවස්ථා කිහිපයක්ම ඔහුට මග හැරී ගියේය.

Adidas රන් අත්වැසුම – Thibaut Courtois

බෙල්ජියමේ Thibaut Courtois තරගාවලිය අවසන් කළේ වැඩිම ප්‍රතිවාදී අවස්ථා ගණනක් ව්‍යර්ථ කළ ගෝල රකින්නා බවට පත්වුයේ ප්‍රතිවාදී අවස්ථා 27ක් ව්‍යර්ථ කරමින්. සිය ප්‍රහාරක ක්‍රීඩකයින්ට මෙන්ම Courtoisට ද බෙල්ජියම් කණ්ඩායම තෙවන ස්ථානයට පත්වීමේ ගෞරවය හිමි විය යුතුය.   

බ්‍රසීලයට එරෙහිව විශිෂ්ට අවස්ථා 9ක් ව්‍යර්ථ කිරීමට ඔහු සමත් වූ අතර ප්‍රංශය හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වුවත් ලකුණු ප්‍රංශ අවස්ථා රැසක් ඔහු ව්‍යර්ථ කළේ අවසන් මිනිත්තුව තෙක් බෙල්ජියම් බලාපොරොත්තු තරගයේ රඳවා ගනිමිනි.

තෙවැනි ස්ථානය සඳහා තරගයේ දී ද ඔහු එංගලන්තයට කිසිදු ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙමින් තරගය 2-0ක් ලෙස අවසන් කර ගැනීමට ඉමහත් සටනක් ලබා දුන්නා.  

FIFA යොවුන් ක්‍රීඩකයා – Kylian Mbappe

PSG කණ්ඩායමේ ක්‍රීඩා කරමින් Kylian Mbappe ලැබූ සාර්ථකත්වය නිසාම සියලු දෙනාම ඔහුගේ ලෝක කුසලාන ආගමනය පිළිබඳ ඉතා අවධානයෙන් බලා සිටියා.

19 හැවිරිදි MBAPPE සිය සුපිරි වේගය භාවිතා කර ගනිමින් ප්‍රංශය වෙනුවෙන් ගෝල හතරක් වාර්තා කළ අතර පේරු රාජ්‍යය සමඟ එක් ගෝලයක් හා ආර්ජෙන්ටිනාවට එරෙහිව සුපිරි ගෝල ද්විත්වයක් වාර්තා කළේ 1958 දී පේලේට පසු ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයක ගෝල ද්විත්වයක් වාර්තා කළ ළාබාලම ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී ද ඔහු ගෝලයක් ලබා ගත්තේ පේලේට පසු ලෝක කුසලාන අවසාන මහා තරගයක ගෝලයක් වාර්තා කළ දෙවන වයස අවුරුදු 20ට අඩු ක්‍රීඩකයා බවට පත් වෙමිනි.  

ක්‍රීඩාවේ ජිවගුණය ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කළ කණ්ඩායම (FIFA Fair Play Award)– ස්පාඤ්ඤය

සත්කාරක රුසියාවට එරෙහිව 16 දෙනාගේ වටයෙන් ඉවතට ගියත් ස්පාඤ්ඤය ක්‍රීඩා පිටිය මත ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනුවෙන් ඇගයීම් ලැබුවෝය.

තරග හතරක් තුල දී කහ කාඩ්පත් හතරක් හා foul අවස්ථා 24ක් ඔවුන්ගේ නමට ලියැවී තිබුණි. ජපන් ක්‍රීඩකයින්ගේ අගය කළ යුතු හැසිරීම නිසා ඔවුන්ට මෙම සම්මාන ලැබේ යැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ද මෙම සම්මානයට ස්පාඤ්ඤය තෝරාගෙන ඇත්තේ ඔවුන් සාපේක්ෂව අඩු foul අවස්ථා ගණනක් හා කහ කාඩ්පත් ගණනක් ලබා ඇති නිසා බව පෙනී යයි.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<