ටෙස්ට් තරගාවලියේ තීරණය මැතිව්ස්ගේ මැද පෙළට බාරයි

97

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වැනි හා තීරණාත්මක අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 386ක ඉලක්කයක් පසුපස හඹා යන ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් තරගයේ සිවුවන දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 67ක් ලබා සිටී.

දිනය නිමා වනවිට කෞෂාල් සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් පිළිවෙළින් ලකුණු 24 සහ 22 බැගින් ලබා නොදැවී ක්‍රීඩා කරයි.

කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබාදුන්නා යැයි විනිසුරුවරයා ලබාදුන් මතභේදාත්මක තීරණයක් හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස උපුල් තරංග ලකුණු නොලබා දැවී ගිය අතර දිමුත් කරුණාරත්න (0) සහ දිනේෂ් චන්දිමාල් (18) දෙදෙනා අපරික්ෂාකාරී පිතිහරඹය හේතුවෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ තරගයේ වැඩි වාසි ඉන්දියාවට හරවමිනි.

තරගයේ සිවුවන දිනය වූ ඊයේ ලකුණු 21කට කඩුලු තුනක් දැවී ගොස් තරමක් අසීරු තත්ත්වයක සිට දිනය ආරම්භ කළ ඉන්දීය පිතිකරුවන් තේ පානයෙන් මොහොතකට පසුව ඉනිම නිමා වන විට දෙවැනි ඉනිමට ලබාගත් ලකුණු 274ත් සමඟින් සත්කාරකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 386ක ඉලක්කයක් ලබාදීමට සමත් විය.
ඔවුන් පළමු ඉනිමට ලබාගත් ලකුණු 312ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 201ක් පමණක් බැවින් දෙවැනි ඉනිම ආරම්භයේදීම ඉන්දීය කණ්ඩායම ලකුණු 111ක් ඉදිරියෙන් සිටියේය.

ඒ අනුව පෙරේදා දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඉන්දීය නායක විරාට් කෝලි සහ රෝහිත් ශර්මා පන්දුවට පහරදීම සඳහා උදෑසන පිටියට පිවිසියත් ඉන්දීය නායකයාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩනොදුන් නුවන් ප්‍රදීප් දිනයේ යැවූ 15 වැනි පන්දු වාරයේදී ලකුණු 21ක් ලබාසිටි කෝලි දවා ගත්තේය.
අනතුරුව පිටියට පිවිසි ස්ටුවට් බිනී ලකුණු 25ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් වෙත ලබාදුන් කඩුල්ල බිඳ දැමීමේ අවස්ථාවක් ගිලිහී යෑම හේතුවෙන් බිනී ලකුණු 49 ක් දක්වා තම ඉනිම රැගෙන ගිය අතර තම මංගල ටෙස්ට් තරගයේදී තමා වෙත පැමිණි මංගල උඩපන්දුවත් අපතේ හැරිය කුසල් ජනිත් කඩුලු රකින්නා ලෙස මෙම තරගයේ කඩුලු ලබා ගැනීමට තිබූ අවස්ථා දෙකක් මඟහැරීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් විය.

ඉන්දීය ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 50 ක් ලබාගත් රෝහිත් ශර්මා ධම්මික ප්‍රසාද්ගේ පන්දුවකට අපරික්ෂාකාරී පහරක් එල්ල කිරීමෙන් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 118ක් විය. ඉන්පසු හයවැනි කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 42ක සබඳතාවට උරණ වූ ප්‍රසාද් ස්ටුවට් බිනී ලකුණු 49කට පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.
පසුව එස්.එස්.සී තණතිල්ලේ දඟ පන්දු යවන්නන්ට ලැබෙන අවම උපකාරය යටතේ තරගයේ ලබාගත් 4 වැනි කඩුල්ලත් ඩැහැගත් රංගන හේරත් නාමන් ඕජා ලකුණු 35කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූ අතර දුර්වල පන්දු රැකීමක නියැළුණු ලහිරු තිරිමාන්න අතින් අමිත් මිශ්රා ලකුණු 18දී එනම් ඉන්දීය කණ්ඩායම මුළු ලකුණු 196කට කඩුලු 7ක්ව තිබියදී කවර් ප්‍රදේශයට ලබාදුන් පහසු උඩ පන්දුවක් ගිලිහී යෑම ඉන්දීය ඉනිම තවදුරටත් ශක්තිමත් කිරීමට කළ උපකාරයක් බඳු විය. ඉන්දීය කඩුලු 4 බැගින් බෙදා ගැනීමට ධම්මික ප්‍රසාද් සහ නුවන් ප්‍රදීප් සමත් වූ අතර රංගන හේරත්ට එක් කඩුල්ලක හිමිකාරිත්වය ලැබිණි.


ඉන්දීය පළමු ඉනිම
(පන්දු වාර 100.1කදී සියලුදෙනා දැවී) _ 312
ශ්‍රී ලංකා පළමු ඉනිම
(පන්දු වාර 52.2කදී සියලු දෙනා දැවී) _ 201
ඉන්දීය දෙවැනි ඉනිම – 274
(අෂ්වින් 58, රෝහිත් ශර්මා 50, ස්ටුවට් බිනි 49, නුවන් ප්‍රදීප් 4/62, ධම්මික ප්‍රසාද් 4/69)
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම
උපුල් තරංග ඇ.ඕජා ප.ශර්මා 0
කෞෂාල් සිල්වා නොදැවී 24
දිමුත් කරුණාරත්න ඇ. ඕජා ප. යාදව් 0
දිනේෂ් චන්දිමාල් ඇ. කෝලි ප. ශර්මා 18
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 22
(පන්දුවාර 18.1කදී කඩුලු 3කට) 67
පන්දු යැවීම
ඉෂාන්ට් ශර්මා 7 – 2 – 14 – 2
උමේෂ් යාදව් 5 – 1 – 32 – 1