මම නම් පවර් ප්ලේ නීතියට කැමැතිම නැහැ

144

ඉන්දියාවේ පැවැති අයි. පී. එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ තමන්ට ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු කිරීම් කටයුතුවල යෙදීමට ආරාධනයක් ලැබීම තමන් බලාපොරොත්තු නොවූ කරුණක් බවත් බොහෝ ක්‍රීඩාවන්ට දක්ෂතා දක්වන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම සතුටට කරුණක් බවත් ජොන්ටි රෝඩ්ස් පැවැසීය.

දින 10ක සීමාසහිත කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ජොන්ටි රෝඩ්ස් ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ ප්‍රකාශ කළ අතර ඔහු තවදුරටත් කියා සිටියේ තමන්ට පැවරුණු රාජකාරිය තවත් දින දෙකකින් නිමා වන බවය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු පන්දු රැකීමේ දක්ෂතාවයෙහි විශාල අඩුපාඩුවක් නොදකින බව කී ජොන්ටි පවතින දක්ෂතාව එක දිගට පවත්වා ගැනීමේ වැදගත් බව පෙන්වමින් කියා සිටියේ පන්දුව නැවැත්වීම, විසි කිරීම හා දිවයෑම, පන්දු රැකීමේ ප්‍රධානම හා අවශ්‍යම අංගයන් තුන බවය.

එහෙත් පන්දුව වෙතට ඉක්මනින්ම පැමිණීම ගැන සොයා බැලීම ශාරීරික යෝග්‍යතාව පිළිබඳව බලන පුහුණුකරුවාගේ මිස තමන්ගේ වැඩක් නොවන බව පැවැසූ ජොන්ටි “ඉස්සර වගේ නොවෙයි දැන් තරගයක් දිනන්න පන්දුවට පහරදීම, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුනම ප්‍රධාන කොට සැලකෙනවා. එහෙත් දැන් තිබෙන නීති රීතිවලින් වඩාත්ම අවාසි වෙන්නෙ පන්දු යවන්නන්ට හා පන්දු රකින්නන්ටයි. අයි. සී. සී.ය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් එක් දින තරගවලදී නව පන්දු 2ක් භාවිත කිරීම පන්දු යවන්නන්ට තවත් අවාසියක්. පවර් ප්ලේ නීතියට මම කොහෙත්ම කැමැති නැහැ”

යනුවෙන්ද කීය. තමන් තවමත් තරගකාරී පුද්ගලයකු බව කී ජොන්ටි තමන් උපදෙස් දෙන්නේ එක් ලකුණක් හෝ අඩු කළ යුතු ආකාරය ගැන බවද කීය. තමන් ලකුණු 10ක් පිත්තෙන් ගත්තද තවත් ලකුණු 20ක් පන්දු රැකීමේදී ඉතිරි කළ බව කී ජොන්ටි ශ්‍රී ලංකා පිලේ යොවුන් ක්‍රීඩකයන් ගැනද කතා කරමින් කියා සිටියේ ජෙහාන් මුබාරක් වැනි උස ක්‍රීඩකයකු ටෙස්ට් තරගවලදී හෝ දක්ෂ පන්දු රකින්නකු ලෙස යොදවා ගත හැකි බවය.