පස්වැනි වරටත් සභාපති බ්ලැටර්

96

පසුගිය සිකුරාදා ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී පවත්වන ලද ජගත් පාපන්දු සම්මේලනයේ 65 වැනි මහ සභා රැස්වීමේදී පස්වැනි වරටත් එහි සභාපති ධුරයට හිටපු සභාපති ජෝශප් සෙෆ් බ්ලැටර් මහතා තේරී පත්විය.

ඡන්ද බලය හිමි 209ක් වූ නියෝජිතයන්ගෙන් බ්ලැටර් මහතාට පක්‍ෂව ඡන්ද 133ක් ලැබී තිබූ අතර ප්‍රතිවාදී අපේක්‍ෂක ජෝර්දානයේ අලී බින් අල් හුසේන්ට ඡන්ද 73ක් ලැබී තිබිණි. 

මේ අනුව ඉදිරි වසර 4ක කාලය තුළ ජගත් පාපන්දු සමුළුවේ සභාපති ධුරය 79 හැවිරිදි බ්ලැටර් හිමි කර ගත්තේ 39 හැවිරිදි ජෝර්දාන කුමරු වැඩි ඡන්ද 60කින් පරදවමිනි.

මෙම නිලවරණයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබූ හිටපු සභාපති රංජිත් රොඩ්රිගු මහතා බ්ලැටර් මහතාට සිය ඡන්දය ලබාදී තිබිණි.

පැවැති නිලවරණය අවසානයේ අදහස් දැක්වූ බ්ලැටර් “මේ නිලවරණය පවත්වනු ලැබුවේ වසර 111ක් පැරැණි ජගත් පාපන්දු සම්මේලනයේ ඇතිවෙලා තියෙන පැහැදිලි බෙදීමක් සහිත අර්බුදය සුළි සුළඟක් ලෙස ක්‍රියාත්මක වෙලා ෆිෆා නෞකාව දියඹට ගසාගෙන ගිහින් තියෙන මොහොතකයි. නමුත් මා සතු අත්දැකීම් ක්‍රියාත්මක කොට ෆිෆා නැව නැවත වෙරළට ගෙන එන්න මම සූදානම්” යයි පවසා ඇත.

අනතුරුව අදහස් දැක්වූ අලී බින් අල් හුසේන් ප්‍රකාශ කර ඇත්තේ “මම බ්ලැටර් මහතාට කැමැතියි. ඉදිරියටත් මම එතුමාට සහයෝගය දෙනවා. මේ ලෝකයේ සර්වසම්පූර්ණ කෙනෙක් නැහැ. මමත් එහෙමයි. විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව අපි එකතු වී වැඩ කරමු” යනුවෙනි.

ජෝශප් සෙෆ් බ්ලැටර් මහතා පළමුවරට 1988 වසරේදී ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත්වූ අතර නැවත 2002, 2007 හා 2011 යන වසරවලදීද සභාපතිවරයා ලෙස තේරී පත්ව සිටියේය.

බ්ලැටර් මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා ස්විට්සර්ලන්තය බලාගොස් සිටි ශ්‍රී ලංකා නියෝජිත රංජිත් රොඩ්රිගු මහතා පසුගියදා ජයග්‍රාහී ලීලාවෙන් නැවත මව්බිමට පැමිණ සිටියේය. පැවැති නිලවරණය පිළිබඳ “මව්බිම”ට අදහස් දැක්වූ එතුමා “උතුරු හා දකුණු ඇමෙරිකානු පාපන්දු බලධාරීන් ඉදිරිපත් කළ අල්ලස් හා දූෂණ චෝදනා මත කිහිපදෙනකු අත්අඩංගුවට පත් වුණත් ඒ ප්‍රශ්නය නිලවරණයට බලපෑවේ නැහැ. ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට ෆිෆා ආධාර ලැබෙන්න පටන් ගත්තේ 1998 වසරේ ඉඳලයි. 2005දී අපට ඩොලර් ලක්‍ෂ 5ක් දුන්නා. ගිය වසරේ ඩොලර් ලක්‍ෂ 7 1/2ක් දුන්නා. 2018දී අපට ඩොලර් මිලියනයක් දෙන්න එතුමා පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා මම ඉටුකළේ ලංකාවෙ යුතුකමයි” යනුවෙන් සඳහන් කළේය.