සේවක පාරිතෝෂික අවුලක් නිසා ක්‍රිකට් මානව සම්පත් ප්‍රධානියා කූඩුවට

143

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර හතකට අධික කාලයක් සේවය කළ සේවිකාවකට ක්‍රිකට් ආයතනය විසින් පාරිතෝෂික දීමනා නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් “මව්බිම”ට වාර්තා වේ.

2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ස්ථාපිත කළ ලෝක කුසලාන ක්‍රිකට් මහ ලේකම් කාර්යාලයේද සේවය කළ මෙම කාන්තාවට එම කාලය සඳහාත් ඉන් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනයේ වැඩ කළ සේවා කාලය සඳහාත් පාරිතෝෂික දීමනා ගෙවීමට ක්‍රිකට් ආයතනය කටයුතු ප්‍රමාද කිරීමට එරෙහිව ඇය කරන ලද පැමිණිල්ලකට අනුව කම්කරු දෙපාර්තමේන්තුව මගින් නඩුවක් පවරා තිබිණි.

එමගින් එකී සේවිකාව ඉල්ලා තිබුණේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවා කාලයේදී ලැබූ රුපියල් තිස්තුන් දාහක මාසික වැටුපට අනුව නොව පසුව ලෝක කුසලාන මහ ලේකම් කාර්යාලයේ සේවය කළ කාලයේදී ලැබූ ඇමෙරිකානු ඩොලර් 1000ක මාසික වැටුපට අනුව පාරිතෝෂික දීමනා තමන්ට වෙත ගෙවන ලෙසය.

ඒ අනුව රුපියල් තිස්තුන් දාහක මාසික වැටුපට අනුව පාරිතෝෂික දීමනා සකස් කොට මුලදී ගෙවීමට තීරණය කොට තිබුණද ක්‍රිකට් ආයතනයට එරෙහිව ඇය ගත් නීතිමය ක්‍රියා මාර්ගය හේතුවෙන් ඩොලර් 1000ක මාසික වැටුපට අනුව පසුව පාරිතෝෂික දීමනා සකස් කිරීමට සිදුවිය. එසේ කටයුතු කිරීමට සිදුවූ නිසාම එකී සේවිකාවගේ පාරිතෝෂික දීමනා ගෙවීම මාසෙකට වඩා ප්‍රමාද වූ අතර, එසේ මාසයකට වඩා ප්‍රමාද වී ගෙවීමේ වරදටද ක්‍රිකට් ආයතනයට චෝදනා එල්ල විය.

ඒ අනුව රුපියල් එක්ලක්ෂ තිස්තුන් දහසක (133,000) අමතර අධිභාරයක් ගෙවීමට කොළඹ මහෙස්ත්‍රාත් උසාවිය විසින් නියම කරන ලද අතර, එම අධිභාරය ගෙවීමේ ප්‍රමාදයට එරෙහිවද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩුවක්ද පැවරීය. පසුගිය අඟහරුවාදා පැවැති මෙම නඩුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි මානව සම්පත් කළමනාකරුවා හෙවත් අංශ ප්‍රධානියා රිමන්ඩ් භාරයට ගන්නා ලෙස අධිකරණය නියෝග කළ අතර, පසුව රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළේය.

කෙසේ වෙතත් අදාළ නඩු විභාගය ලබන අගෝස්තු මස දක්වා කල් ගිය අතර, එවකට ඩොලරයේ වටිනාකමට අනුව මාසික වැටුප රුපියල් එක් ලක්ෂ විසිනවදාහක් (129,000) ලබාගත් සේවිකාවක ලෙස සලකා රුපියල් මිලියනයකට ආසන්න මුදලක් පාරිතෝෂික දීමනා ලෙස ඇය වෙත ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවූ බවද දැනගන්නට ඇත.