තැනක්‌ නැතිව අද වොලිබෝල් නිලවරණය කල්දමයි

105

හෙට වෙන දේ ගැන කව්රුත් නොදනිති

අද පැවැත්වීමට නියමිතව පැවැති වොලිබෝල් සම්මේලනයේ නිලවරණය සහ කබඩි සම්මේලනයේ නිලවරණය යන දෙකම එකම ස්‌ථානයක, එකම වේලාවක යෙදීම හේතුවෙන් තමන්ගේ නිලවරණය තාවකාලිකව කල්දමන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඊයේ පවසා සිටියේය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණය පෙරවරු 10.00ට ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එසේ තිබියදී එම ස්‌ථානය අද පෙරවරු 9.00 සිට කබඩි නිලවරණය පැවැත්වීමටද ලබාදී ඇති බව සැලවේ. මෙම තත්ත්වය මත නියමිත වේලාවට ස්‌ථානය වෙන්කරවා ගැනීමට ඇති අපහසුව මත සිය නිලවරණය කල්දැමූ බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපති සහ මාධ්‍ය ප්‍රකාශක කාංචන ජයරත්න මහතා ඊයේ ‘දිවයින’ට පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් ලබාදුන් කාලයට අනුව මැයි 23 වැනිදා සිය නිලවරණය පැවැත්වීම, විශේෂයෙන් අවසර ලබාගත් පාපන්දු සම්මේලනය හැරුණු විට සෙසු ජාතික සංගම්වල නිල කාලය අදින් (15 වැනිදායින්) අවසන් වේ. ඒ අනුව හෙට සිට වොලිබෝල් සම්මේලනයේ නිත්‍යානුකූල පරිපාලන අයිතිය දරනු ලබන්නේ කව්රුන් විසින්ද යන ගැටලුව පැන නගිනු ඇත.

නමුත් මේ සම්බධයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් බලධාරීන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ද නිශ්චිතව යමක්‌ ප්‍රකාශ නොකිරීම ගැටලු සහගත තත්ත්වයක්‌ වේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යංශය විසින් බලාත්මක කළ වසර 4 නීතිය ගැන කිසිදු තැකීමකින් තොරව නාම යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් වොලිබෝල් සමමේලනය විසින් පැවැත්වීමට යන නිලවරණය තමන් විසින් පිළිනොගන්නා බවට වන ස්‌ථාවරයේ ක්‍රීඩා අමාත්‍යංශය දිගින් දිගටම රැඳී සිටියි. 

මේ පිළිබඳව ඊයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් කේ.ඩී.එස්‌ රුවන්චන්ද්‍ර මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී, නියමිත වොලිබෝල් නිලවරණය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිදු නෛතික පිළිගැනීමක්‌ නොලැබෙන බවද, මේ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ නිරීක්‍ෂකයකු සහභාගී නොකරන බවද පවසා සිටියේය.

‘අපි වොලිබෝල් සම්මේලනයට දැනුම් දුන්නා සම්මත නීතියට අනුව නැවත නාමයෝජනා කැඳවන්න කියලා. නමුත් ඒකට අපිට ඒ අයගෙන් ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැහැ. යම් හෙයකින් මේ අය නිලවරණයක්‌ පැවැත්වුවත් ක්‍රීඩා අමාත්‍යංශයට හැකියාව තියනවා නිත්‍යානුකූල නිලවරණයක්‌ කැඳවන්න’ යනුවෙන් රුවන්චන්ද්‍ර මහතා පවසා සිටියේය.

නමුත් මැයි 15 වැනිදායින් පසු ජාතික සංගම්වල පැවැති පරිපාලනයන් අවලංගුවන බැවින් එදිනට පසු පරිපාලන අයිතිය පැවරෙන්නේ කා වෙතද? නැතිනම් ඒ සඳහා අතුරුකමිටුවක්‌ පත්කරන්නේද? යනුවෙන් නගන ලද පැනයේදී ‘එය ඇමැතිතුමා තීරණය කරයි’ යෑයි පිළිතුරු දුන්නේය.

මෙම වාතාවරණය සමග සැසඳීමේදී, අද පැවැත්වීමට නියමිත වොලිබෝල් සම්මේලන නිලවරණය කල්දැමුවේ ස්‌ථානය පිළිබඳ ප්‍රශ්නයක්‌ නිසාමද යන ගැටලුවද මතුවේ.