මීගමුවේ පාසල් ක්‍රීඩිකා ලක්ෂාණී තුම්පිම්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරයි

118

මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලේ විදූෂා ලක්ෂාණී තුම්පිම්ම ඉසව්ව මීටර් 13.22කින් නිමකොට නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරයි.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් පැවැති තේරීම් තරගයේදී ඇය මේ දක්ෂතාව සටහන් කළාය. මේ තේරීම් තරගයේදී බිහිවූ එකම වාර්තාවද විදූෂා ලක්ෂාණීගේ වීම විශේෂත්වයකි.

විදූෂා ලක්ෂාණී විසින් මකා දැමූමේ එන්.සී.ඩී.ප්‍රියදර්ශනී මීටර් 13.15කින් තබා තිබූ වාර්තාවය. තුම්පිම්ම කාන්තා තරගයේ දෙවැනි ස්ථානය ඩී.එච්.ඒ.වීරසේකර (මී.13.14) හා තෙවැනි ස්ථානය කේ.ඒ.ටී.ලක්ෂාණී (මී.12.00) දිනාගත්තාය. මේ තේරීම් තරගයේ දී මීටර් 100 පිරිමි ඉසව්ව කළුතර විද්‍යාලයේ හිමාෂ ඒෂාන් දිනාගත් අතර ඔහු ගතකළ කාලය තත්පර 10.49කි.

දෙවැනි ස්ථානය යුද හමුදාවේ එම්.වයි.එස් ද සිල්වා (තත්.10.52) හා තෙවැනි ස්ථානය ඒ.එල්.එම්.අෂ්රොෆ් (තත්.10.63) පත්වූහ. කලක් මීටර් 100 ආධිපත්‍ය පැතිරවූ ෂෙහාන් අඹේපිටිය තත්.10.67කින් සිවුවැනි ස්ථානයට පත්විය.

මීටර් 100 කාන්තා තරගයේ ජය කෑගලු බාලිකා විදුහලේ රොමේෂා රත්නායක තත්.11.81කින් හිමිකර ගත්තාය. කේ.ජී.එස්.ඩයස් තත්.12.29කින් දෙවැනි ස්ථානයට පත්වූ අතර නදීෂානී වරාගොඩ තත්.12.34කින් තෙවැනි ස්ථානයට පත්විය. මීටර් 100 ඉසව්වේ දක්ෂතා දක්වමින් සිටි ජානි චතුරංගනී ද සිල්වා අවසන් මොහොතේ තරගයට සහභාගි නොවීමට තීරණය කළාය. ඇය මූලික තරගයේ දී තත්.12.41කින් තරගය නිමකර තිබුණි.

හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ දී නදීකා ලක්මාලි මීටර් 56.69ක්ද, උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර මීටර් 2.21ක දක්ෂතාවක්ද පෙන්නුම් කළහ. මීටර් 5000 තරගයට එක්වූ චමින්ද විජේකෝන් විනාඩි 14:47.22කින් තරගය නිමකොට ප්‍රථම ස්ථානයට පත්විය.

මේ තේරීම් තරගයේ දී තහනම් උත්තේජන පරීක්ෂණ 20ක් පමණ සිදු කිරීමද විශේෂත්වයකි.

ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අහඹු ලෙස පරීක්ෂාවට ලක්කිරීම සිදු කෙරිණි.