ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ගේට්වේ – ආසිරි

143

පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවුණු 15 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ඉහළම දක්ෂතා, හොඳම ක්‍රීඩකයා, අවුරුදු 17න් පහළ හොඳම ක්‍රීඩකයා සහ ජවන ඉසව් දක්ෂතම ක්‍රීඩකයා යන සම්මාන හතරම දිනාගැනීමට ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආසිරි විජේසේකර සමත්විය.

ජාත්‍යන්තර පාසල් 25ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ රන් 43, රිදී 29 ක් හා ලෝකඩ 13ක් ලෙස පදක්කම් දිනාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පදක්කම් ලබාගැනීමේ අනුපිළිවෙළ අනුව පෙරමුණේ සිටි අතර රන් 17ක්, රිදී 23ක් ලෝකඩ 11ක් ලෙස පදක්කම් 51ක් දිනාගත් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල එම සටහනේ දෙවැනි ස්ථානයට පත්කරවාලමින් තරගාවලිය නිමාවිය.

මේ අතර තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලිකා අංශයෙන් මීටර් 100, මීටර් 100 කඩුලු සහ උස පැනීම යන ඉසව් තුනෙහිම ශූරතා දිනාගත් පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ පූර්ණිමා ගුණරත්න තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩිකාව, හොඳම ක්‍රීඩිකාව (පිටියේ) සහ අවුරුදු 19න් පහළ හොඳම ක්‍රීඩිකාව යන සම්මාන තුනම දිනාගැනීමද කැපී පෙනෙන සිදුවීමක් විය.