ධර්මරාජ ළඟ තිබූ කිරුළ සිල්වෙස්ටර් පැහැර ගනියි

158

කොළඹ රාජකීය විද්‍යාලයීය බොක්සිං වළල්ලේදී පසුගියදා නිමාවට පත්වූ ජාතික කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ කාන්තා ශූරතාව යුනිචෙලා බොක්සිං කණ්ඩායම දිනා ගනිද්දී පිරිමි ශූරතාව දිනා ගන්නට මහනුවර ශාන්ත සිල්වෙස්ටර් බොක්සිං කණ්ඩායම සමත් විය.

කාන්තා ශූරතාව දිනාගත් යුනිචෙලා බොක්සිං කණ්ඩායම ජයග්‍රහණ 3ක් හා එක් අනුශූරතාවක් දිනා ගෙන තිබූ අතර පිරිමි ශූරතාව දිනාගත් ශාන්ත සිල්වෙස්ටර් කණ්ඩායම සහභාගි වූ අවසන් තරග හයම ජයග්‍රහණය කිරීම කැපී පෙනුණි.

එහිදී පසුගිය වසරේ ශූරතාව දිනූ මහනුවර ධර්මරාජ විදුහල වෙනුවෙන් අවසන් තරගයකට සහභාගිවීමේ අවස්ථාව මෙවර කිලෝ ග්‍රෑම් 91ට වැඩි බර පන්තියෙන් තරග වැදුණු එම්.පී. උඩමුල්ලට පමණක් හිමිව තිබූ නමුත් ඔහුද එම තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහලේ ඩී.එම්.සී.එම්. දිසානායක වෙතින් පළමු වටයේදීම තරගයෙන් ඉවත් වෙමින් පරාජයට පත්ව තිබිණි.

කාන්තා අංශයේ අවසන් තරග බර පන්ති 7ක් යටතේ පැවැති අතර ඉන් තරග හතරකම ජයග්‍රහණය තීරණය වී තිබුණේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් තරගය අතර තුර ඉවත්ව යෑම හේතුවෙනි.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිලෝ ග්‍රෑම් 54 බැන්ටම් බර පන්තියේ ජයගත් යුනිචෙලා බොක්සිං කණ්ඩායමේ දිනිති ජයනා පෙරේරා සම්මාන ලබද්දී හොඳම පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විදුහලේ එල්.ඩබ්ලිව්. කොඩිප්පිලි දිනා ගත්තේ කිලෝ ග්‍රෑම් 48.48 ලයිට් ෆ්ලයි බර පන්තියෙන් තරග වදිමිනි.

බර පන්ති 10ක් යටතේ පැවැති පිරිමි තරගාවලියේදීද අතරමඟ නතර කොට ප්‍රතිවාදියාට ජයග්‍රහණ ලබා දුන් තරග 4ක් පැවැති අතර ඉන් තරග දෙකකම ජයග්‍රහණය තීරණය වූයේ ප්‍රතිවාදී ක්‍රීඩකයාට තවදුරටත් තරග වැදීමට නොහැකි වන පරිදි ප්‍රහාර එල්ල වී තිබීම හේතුවෙනි.

තරගාවලියේ හොඳම පරාජිතයා ලෙස කිලෝ ග්‍රෑම් 46-49 ලයිට් ෆ්ලයි බර පන්තියෙන් තරග වැදුණු ඩබ්ලිව්. ඒ.අයි. සංජය ද හොඳම ක්‍රීඩකයා ලෙස කිලෝ ග්‍රෑම් 60 ලයිට් බර පන්තියෙන් තරග කළ වයි.එම්.ඩී. තිලකරත්නද සම්මාන දිනා ගත්හ.

මේ දෙදෙනාම මහනුවර විද්‍යාර්ථ විදුහල නියෝජනය කළ ක්‍රීඩකයන් වීම විශේෂත්වයක් විය.