ජාතික පුහුණුකරු මරණ තර්ජන නිසා රට හැර ගිහින් – යොනෙක්ස්-සන්රයිස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ජුනි 2දා සිට

134

හිටපු ජාතික පුහුණුකරු වූ මැලේසියානු ජාතික ෂංකර් අන්නමලේට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හා පියවරුන් කිහිප දෙනෙකු එල්ල කළ මරණ තර්ජන හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාතික පුහුණුකරු ධුරයෙන් ඉවත්ව ගිය බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා පැවැසීය.

ඔහු මේ අදහස් පැවැසුවේ ජුනි 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට සමගාමීව ඊයේ (28දා) බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් ඔහු පැවැසුවේ මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් නොයෙකුත් බාධක එල්ල වුවත් අති සාර්ථක අයුරින් තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.

“තරගාවලියේ ප්‍රධාන තරග කාලසටහනට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත්ව ඇති නමුත් එක් ක්‍රීඩිකාවකටවත් ඇතුළු වීමට අවස්ථාව ලැබී නැත්තේ සහභාගි වන රටවල් 23ක ක්‍රීඩිකාවන්ගේ ශේ්‍රණිගත කිරීම් ආසන්නයට හෝ පැමිණීමට නොහැකි වී ඇති නිසයි” යනුවෙන් පෙන්වා දුන් දන්දෙණිය මහතා තරගාවලිය සඳහා ලෝක බැඩ්මින්ටන් සම්මේලනයෙන් ඩොලර් 8,000ක් ලැබී ඇති බවත්, තරගාවලිය සඳහා දින වකවානු තීරණය කරනු ලැබුවේ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයෙන් බවත් පැවැසීය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයකුගේ හා ඔහුගේ පියකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු සැපයූ දන්දෙණිය මහතා පැවැසුවේ සුරාජ් දන්දෙණිය සිටින තුරු එක පවුලකට මෙහි තීන්දු තීරණ ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි.