නිල් මහා සංග්‍රාමයට නැවතත් දින තීන්දුයි

147

COVID-19 වයිරසයේ බලපෑම නිසාවෙන් අවස්ථා කිහිපයක දී කල්දැමීමට සිදු වුන 142 වැනි රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන එළඹෙන ඔක්තෝබර් 28, 29 සහ 30 තෙදින පුරාවට කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සංවිධායක කමිටුව සැලසුම් කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු, මැයි මාසවල දී සහ සැප්තැම්බර් මාසයේ දී නිල් මහා සටන පැවැත්වීමට හැකි වුනේ නැහැ. යම් යම් සීමාවලට යටත්ව කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව මේ සංග්‍රාමය පැවැත්වීමට එම කමිටුව සැලසුම් සකස් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියෝග කර ඇති මාර්ගෝපදේශ මෙන්ම ක්‍රීඩා කරන තත්වයන් පිළිබඳ වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියාමනයන්ට ද යටත්ව සංග්‍රාමය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු ඔවුන් විසින් සූදානම් කරමින් සිටිනවා.

රාජකීය-සාන්ත තෝමස් මහා සංග්‍රාමයට වසර 142ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයක් හිමි වෙනවා. ලොව දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවති ක්‍රිකට් තරගාවලි අතර මෙය දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී සාන්ත පීතර විදුහල හා ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට පමණයි. එය ඇරඹී ඇත්තේ රාජකීය-සාන්ත තෝමස් තරගය ආරම්භ වීමට එක් වසරකට පෙරයි.

142 වැනි රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන, ‘Dialog TV’ ඔස්සේ මෙන්ම ThePapare.com වෙබ් අඩවිය සහ Dialog ViU App හරහා සජීවීව විකාශය කිරීමට නියමිතයි.

මෙම සංග්‍රාමයේ සියලුම තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<