විද්‍යාරතන, ද මැසනොද්, පද්මාවතී, කුරුවාමුල්ල හා ලුම්බිණි ශූරතා දිනයි

685

රාජකීය විද්‍යාලය විසින් 12 වැනි වරටත් සංවිධානය කරන ලද බස්නාහිර පළාත් වොලිබෝල් තරගාවලිය ඊයේ (10) රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත් විය.

එහි දී වයස අවුරුදු 20න් පහළ ශූරතාවය විද්‍යාරතන විශ්ව විද්‍යාල පාසල ද, අනුශූරතාවය කොළඹ රාජකීය විදුහල ද දිනා ගැනීමට සමත් විය. පිළිවෙළින් වයස අවුරුදු 18න් පහළ,16න් පහළ හා 14න් පහළ බාලක ශූරතා ද මැසනොද් විද්‍යාලය, දෙකටන පද්මාවතී විදුහල හා කුරුවාමුල්ල මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

බ්ලූ ගෝල්ඩ් ඇන්ඩ් බ්ලූ වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි

අගනුවර ප්‍රධාන පාසලක් ලෙස සැලකෙන කොළඹ රාජකීය විද්‍යාලය 12 වැනි වරටත් වාර්ෂිකව …

රාජකීයයන් වයස අවුරුදු 18න් පහළ හා 16න් පහළ  බාලක අනුශූරයන් වූ අතර වයස අවුරුදු 14න් පහළ අනුශූරයන් බවට ඩී. එස්. සේනානායකයන් පත්විය. තරගාවලියේ එකම බාලිකා අංශය වූ වයස අවුරුදු 20න් පහළ අංශයේ ශූරතාවය ලුම්බිණි ක්‍රීඩිකාවන් විසින් දිනා ගත් අතර එහි අනුශූරතාවය අගමැති විද්‍යාලයීය ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදි.

20න් පහළ බාලක අවසන් තරගය

තරගාවලියේ අවසාන මහා තරගය ලෙස වයස අවුරුදු 20න් පහළ බාලක තරගය පැවැත්විය. ඒ කොළඹ රාජකීය විද්‍යාලය හා විද්‍යාරතන විශ්ව විද්‍යාල පාසල අතරයි.

එහි දී ලකුණු 18-25ක්, 20-25ක් හා 21-25ක් ලෙස වට 3-0කින් ජය ලබා ශූරයන් වීමට විද්‍යාරතන කණ්ඩායම සමත් විය.

පළමු වටයේ මුල් භාගයේ දෙපිළම ලකුණු අතරට පැමිණියත්, අවසාන භාගයේ කෙටි හා උස් ප්‍රහාර එල්ල කරමින් රාජකීයයන් පසු බස්වා ලකුණු 18-25ක් ලෙස ජය තහවුරු කර ගැනීමට විද්‍යාරතන ක්‍රීඩකයින් සමත් විය.

දෙවන වටයේ මුල් භාගයේ දී රාජකීයයන් ඉදිරියෙන් සිටිය ද අවසාන භාගයේ දී නැවත තරගයට පිවිසි විද්‍යාරතනයන් 20-20ක් ලෙස සම අවස්ථාවක් දක්වා තරගය රැගෙන ඒමට සමත් විය. නමුත් රාජකීයයන්ගේ දුබල පන්දු ගොඩගැනීම් හමුවේ දෙවන වටය ද ජයගෙන වට 2-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට විද්‍යාරතන විශ්ව විද්‍යාල පාසල සමත් විය.

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩිකාවෝ වියට්නාමයට

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම වියට්නාමයේ බැක් නින්හ් (Bac Ninh) පළාතේ පැවැත්වෙන 19 වන …

රාජකීය විදුහලට තරගයේ තීරණාත්මක තරග වටයක් වූ තෙවැනි වටයේ ජය අත්‍යවශ්‍ය වූයේ එය පරාජය වුවහොත් ශූරතාවය ඔවුන්ට අහිමි වන බැවිණි. නමුත් මුල් භාගයේ ද පෙර වටයේ මෙන් දුබල පන්දු ගොඩගැනීම් දැක ගත හැකි විය. නමුත් රාජකීය කෙටි ප්‍රහාරක ක්‍රීඩකයාගේ ප්‍රහාර ඔවුන්ට මද අස්වැසිල්ලක් ලබා දීමට හේතු විය. අවසාන භාගය වන විට ලකුණු තත්වය 20-20ක් ලෙස සම තත්ත්වයේ පසුවුවද විද්‍යාරතන කණ්ඩායම තවත් ලකුණු 5ක් තමන් වෙත ළඟා කරගන්නා විට රාජකීය කණ්ඩායමට ලබා ගත හැකි වූයේ එක ලකුණක් පමණි. එම වටය ද ලකුණු 21-25ක් ලෙස ජය ගනිමින් විද්‍යාරතන විශ්ව විද්‍යාලයීය පාසල තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

විද්‍යාරතන විශ්ව විද්‍යාල පාසල 3/0 රාජකීය විද්‍යාලය

  • හොඳම ප්‍රහාරකයා – සුරේෂ් චානක (රාජකීය)
  • හොඳම පිටිය රකින්නා – පී. එල්. ජයලත් (විද්‍යාරතන)
  • හොඳම පන්දු සකසන්නා – එන්. සමරතුංග (විද්‍යාරතන)
  • හොඳම ක්‍රීඩකයා – ආර්. පරාක්‍රම (විද්‍යාරතන)

20න් පහළ බාලිකා අවසන් තරගය

වයස අවුරුදු 20න් පහළ බාලිකා ශූරතාවය දිනා ගත් ලුම්බිණි විද්‍යාල කණ්ඩායම

ලුම්බිණි විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමඟින් අගමැති විද්‍යාලයීය ක්‍රීඩිකාවන් මෙම අවසන් තරගය සඳහා සහභාගී විය.

එහි දී ලකුණු 25-18ක් හා 25-13ක් ලෙස තරග වට 2-0කින් ජය ලැබීමට ලුම්බිණි ක්‍රීඩිකාවන් සමත් විය. ප්‍රථම වටයේ මුල් භාගයේ දී අගමැති ක්‍රීඩිකාවන් ඉදිරියෙන් සිටිය ද ලුම්බිණි ක්‍රීඩිකාවන් වඩා නිවැරදි ස්ථාන ගත කිරීම් සමඟ ඉදිරියට පැමිණියේය. පළමු වටයේ ජය ලැබීමට ලුම්බිණි ක්‍රීඩිකාවන් සමත් වූ අතර දෙවෙනි වටයේ දී ඔවුන් අගමැති විද්‍යාලයීය ක්‍රීඩිකාවන්ට ඉතා අනගි ආක්‍රමණශීලී ස්වභාවයක් මුල් භාගයේ සිටම පෙන්වන ලදි. ඉතා දක්ෂ අයුරින් ක්‍රීඩා කළ ලුම්බිණි ක්‍රීඩිකාවන් දෙවන වටය ලකුණු 25-13ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගනිමින් තරගාවලියේ බාලිකා ශූරතාවය දිනා ගන්නා ලදි.

ලුම්බිණි විද්‍යාලය 2/0 අගමැති විද්‍යාලය

  • හොඳම ප්‍රහාරිකාව – වාසනා මෙන්ඩිස් (අගමැති)
  • හොඳම පිටිය රකින්නිය – උත්පලා නෙත්මිණී (ලුම්බිණි)
  • හොඳම පන්දු සකසන්නිය – සයුරි හිමායා (ලුම්බිණි)
  • හොඳම ක්‍රීඩිකාව – පබෝදා හංසි (ලුම්බිණි)

18න් පහළ බාලක අවසන් තරගය

(වයස අවුරුදු 18න් පහළ බාලක ශූරතාවය දිනා ගත් කඳාන ද මැසනොද් කණ්ඩායම

වයස අවුරුදු 18න් පහළ බාලක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ රාජකීයයන් සහ ද මැසනොද් ක්‍රීඩකයින් ය.

ඉතා තියුණු තරග වට 2කින් ලකුණු 24-26ක් හා 23-25ක් ලෙස ජය ලැබීමට මැසනොද් ක්‍රීඩකයින් සමත් විය. තරගයේ ප්‍රථම වටයේ සිටම දෙපිළම දස්කම් අතරට පැමිණි අතර කෙටි ප්‍රහාර, නිවැරදි ස්ථානගත කිරීම් රැසක් දැක ගත හැකි විය.

පළමු වටයේ අවසාන භාගයේ 22-24ක් ලෙස මැසනොද් විදුහල ඉදිරියෙන් සිටි අතර තරගය අත්නොහළ රාජකීයයන් 24-24ක් ලෙස සම අවස්ථාවට ගෙන ඒමට සමත් විය. නමුත් පසුව ක්‍රියාත්මක වූ මැසනොද් ක්‍රීඩකයන්ගේ සැලසුම් කරන ලද ප්‍රහාර හමුවේ පසුබැසීමට රාජකීයයන්ට සිදු විය. පළමු වටය 24-26ක් ලෙස ද මැසනොද් විදුහල ජය ලැබීය.

තායිලන්ත ගිය ජනිත සුරත්ගෙන් විශිෂ්ට දස්කම්

තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති ‘Thai-Denmark Super League 2018’ වොලිබෝල් …

දෙවන වටයේ ද ක්‍රියාත්මක වූ මැසනොද් ප්‍රහාරකයන්ගේ ප්‍රහාර සමඟ මුල් භාගයේ ලකුණු පුවරුවේ ඉදිරියෙන් සිටීමට ඔවුන්ට හැකි විය. කෙටි විවේකයක් ලබා පුහුණුකරුගෙන් අවවාද ලබාගත් රාජකීයයන් නැවත ලකුණු අතරට පැමිණීමට සමත් විය. නමුත් මැසනොද් කණ්ඩායමේ පන්දු සකසන්නාගේ මුළා කිරීම් හමුවේ රාජකීයයන් අඩපණ විය. එම වටය ද 23-25ක් ලෙස ජය ලබා වයස අවුරුදු 18න් බාලක ශූරයන් වීමට කදාන ද මැසනොද් විදුහල සමත් විය.

මැසනොද් විද්‍යාලය 2/0 රාජකීය විද්‍යාලය

  • හොඳම ප්‍රහාරකයා – එස්. බී. බණ්ඩාර (මැසනොද්)
  • හොඳම පිටිය රකින්නා – යොහාන් පසිඳු (මැසනොද්)
  • හොඳම පන්දු සකසන්නා – පවන් හිරුන්දික (මැසනොද්)
  • හොඳම ක්‍රීඩකයා – මිලින්ද ඉශාන් (මැසනොද්)

16න් පහළ අවසන් තරගය

වයස අවුරුදු 16න් පහළ බාලක ශූරතාවය දිනා ගත් දෙකටන පද්මාවතී කණ්ඩායම

වයස අවුරුදු 16න් පහළ බාලක ශූරතාවය දිනා ගත් දෙකටන පද්මාවතී කණ්ඩායම

කොළඹ රාජකීය විද්‍යාලය සහ දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති වයස අවුරුදු 16න් පහළ බාලක අවසන් තරයේ දී ලකුණු 14-25ක් හා 16-25ක් ලෙස තරග වට 2-0කින් සත්කාරක රාජකීයයන් පරදවා පද්මාවතී බාලකයන් ජය ලැබීය.

පළමු වටය ඉතා පහසුවෙන් පද්මාවතී බාලකයන් ජය ගත්තේ ඉතා අනර්ඝ ප්‍රහාර හා ස්ථානගත කිරීම් මගිනි. දෙවන වටයේ ද රාජකීයයන් ඉදිරියට පැමිණීමට තරමක උත්සාහයක් යෙදුවද එය සාර්ථක කර ගැනීමට පද්මාවතී ක්‍රීඩකයන් ඉඩ හසරක් ලබා දුන්නේ නැත. එම වටය ද ලකුණු 16-25ක් ලෙස පහසුවෙන් ජය ගනිමින් වයස අවුරුදු 16න් පහළ බාලක ශූරතාවය පද්මාවතී බාලකයන් තමන් සතුකර ගැනීමට සමත් විය.

පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය 2/0 රාජකීය විද්‍යාලය

  • හොඳම ප්‍රහාරකයා – එස්. අබේකෝන් (රාජකීය)
  • හොඳම පිටිය රකින්නා – කවිෂ්ක විදුරංග (පද්මාවතී)
  • හොඳම පන්දු සකසන්නා – ගයාෂාන් මලීශ (පද්මාවතී)
  • හොඳම ක්‍රීඩකයා – අවිශ්ක මදුසංක (පද්මාවතී)

14න් පහළ අවසන් තරගය

වයස අවුරුදු 14න් පහළ බාලක ශූරතාවය දිනා ගත් කුරුවාමුල්ල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම

වයස අවුරුදු 14න් පහළ බාලක ශූරතාවය දිනා ගත් කුරුවාමුල්ල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම

මේ සඳහා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කුරුවාමුල්ල මධ්‍ය මහා විද්‍යාලය තරග වැදුණි.

එහි දී ලකුණු 16-25ක් හා 20-25ක් ලෙස වට 2-0කින් ජය ලබා ශූරයන් වීමට කුරුවාමුල්ල ක්‍රීඩකයන් සමත් විය.

ප්‍රථම වටයේ සිටම තරගය තමා දෙසට ඇද ගැනීමට කුරුවාමුල්ල බාලකයින් සමත් වූ අතර අනර්ඝ පන්දු ස්ථානගත කිරීම් සමඟ සේනානායකන්ගෙන් ජයග්‍රහණයේ සේයාව ඩැහැ ගැනීමට කුරුවාමුල්ල ක්‍රීඩකයන් සමත් වූයේ වයසින් ළාබාල වුවද ක්‍රීඩාශීලීත්වයේ පරිණත බව ප්‍රේක්ෂකයන්ට පසක් කරමිනි.

දෙවන වටයේ දී සේනානායකයන් ඉතා ආක්‍රමණශීලී ස්වභාවයක් දැක්වුවද එය නොසැලී පවත්වා ගැනීමට ඔවුන් සමත් නොවීය. ලැබුණු සුලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත් කුරුවාමුල්ල බාලකයන් නැවත තරග බිමට පිවිස තරගය ජයග්‍රහණය කළේ සේනානායකයන් පුදුම කරවමිනි. දෙවන වටය ද ලකුණු 20-25ක් ලෙස ජය ගනිමින් කුරුවාමුල්ල බාලකයන් ශූරතාවය දිනා ගන්නා ලදි.

කුරුවාමුල්ල මධ්‍ය මහා විද්‍යාලය 2/0 ඩී. එස්. සේනානායක විද්‍යාලය

  • හොදම ප්‍රහාරකයා – දුලංක සංජය (ඩී. එස්. සේනානායක)
  • හොඳම පිටිය රකින්නා – දිලිදු නිශාක්‍ය (කුරුවාමුල්ල)
  • හොඳම පන්දු සකසන්නා – රවිදු ලක්ශාන් (කුරුවාමුල්ල)
  • හොඳම ක්‍රීඩකයා – මලිත ශෙහාන් (කුරුවාමුල්ල)

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<