තායිලන්ත ගිය ජනිත සුරත්ගෙන් විශිෂ්ට දස්කම්

1376

තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති ‘Thai-Denmark Super League 2018’ වොලිබෝල් තරගාවලියේ දී තරගාවලියේ හොඳම පන්දු යොමුකරන්නාට හිමි සම්මානය හිමිකර ගන්නට ජනිත සුරත් සමත් විය.

2014 වසරේ ආරම්භ වූ මෙම ‘Thai-Denmark Super League’ වොලිබෝල් තරගාවලිය මෙවර පැවතියේ අඛණ්ඩව 5 වන වරට වන අතර එහි දී ජනිත සුරත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කරනු ලැබීය. ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගයේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් විසාඛා වොලිබෝල් ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුණු 25-22, 25-12 හා 20-20ක් වශයෙන් පරාජයට පත්කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ජනිත සුරත් තායිලන්ත ගුවන් හමුදාවට!

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ජනිත සුරත් හට මෙතෙක්…

ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල 41 වන ස්ථානයේ පසුවන තායිලන්තයේ පැවැත්වෙන මෙම තරගාවලිය ලෝකයේ ඇති ප්‍රචලිතම වොලිබෝල් ලීග් තරගාවලි වලින් එකකි. ශ්‍රී ලංකාවේ තරග වාරය අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේ දී ජනිත සුරත් මෙම තරගාවලියේ දෙවන වටයේ තරගවල සිට ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟ එක්විය.

එහි දී තායිලන්තයේ මෙන්ම බ්‍රසීලය, කාම්බෝජය, මියන්මාරය සහ කිර්ගිස්ථානය ඇතුළු රටවල් කිහිපයකින්ම පැමිණි ප්‍රමුඛ පෙළේ වොලිබෝල් ක්‍රීඩකයින් සමඟ හා ඔවුන්ට එරෙහිව තරග වැදීමට ජනිත හට අවස්ථාව හිමිවූ අතර ඒ හරහා ඔහුට අත්දැකීම් රාශියක් එක්කර ගැනීමට හැකි විය.

2010 වසරේ දී ‘Chonburi E-tech Air Force’ ලෙස ආරම්භ කිරීමෙන් අනතුරුව එය 2016 වසරේ දී තායිලන්ත ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම බවට පත්වූ අතර ඔවුන් තායිලන්ත ලීග් ශූරතාවය 2010-11, 2011-12 සහ 2016-17 තරග වාරවල දී ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර ඊට අමතරව 2014 සහ 2015 වසරවල දී ‘Thai-Denmark Super League’ තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට ද ඔවුන් සමත් විය. 2017 වසරේ පැවති ආසියානු අන්තර් සමාජ වොලිබෝල් ශූරතාවලියේ පිරිමි කාණ්ඩයේ 9 වන ස්ථානය හිමිකර ගැනීමට ද ඔවුන් සමත් විය.

Sri Lanka disappoint against Sierra Leone

Sri Lanka suffered a 2-0 loss against Sierra Leone in their final…

තායිලන්ත වොලිබෝල් ලීග් තරගාවලියේ පිරිමි කාණ්ඩයේ හොඳම කණ්ඩායම් 6 සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ‘Thai-Denmark Super League’ තරගාවලියේ දී එම කණ්ඩායම් 6 කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ දෙකකට කාණ්ඩගත කෙරෙන අතර එහි දී එක් කාණ්ඩයක් තුළ ඉහළම දක්‍ෂතා දක්වන කණ්ඩායම් 2 බැගින් තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගනී.

ඒ අනුව ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම තරගාවලියට ‘B’ කාණ්ඩයෙන් එක්වුණු අතර එහි දී ඔවුන් ‘Cosmo Chiang Rai’ කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 25-15, 25-17 හා 25-22ක් වශයෙන් ජයග්‍රහණය කළ අතර ‘Samanun Ratchaburi’ කණ්ඩායම සමඟ පැවති අනෙක් තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 25-18, 25-19, 20-25, 22-25 හා 10-15ක් වශයෙන් පරාජයට පත්විය.

ඒ අනුව ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමට අවසන් පූර්ව තරගයේ දී ‘Nakhon Ratchasima The Mall’ කණ්ඩායම සමඟ තරග වැදීමට සිදු වූ අතර ඊට පෙර ලීග් තරගාවලියේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අවසන් පූර්ව වටයේ දී පරාජයට පත්කරමින් අවසන් තරගයට ගොස් එහි ශූරතාවය දිනා ගන්නට ඔවුන් සමත්ව තිබුණි. කෙසේ නමුත් ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරග වට 3-2ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

එහි දී ප්‍රතිවාදීන් පළමු තරග වටය ලකුණු 15-25ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කළත් දෙවන වටයේ දී තරගයට අවතීර්ණ වූ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් එම වටය ලකුණු 25-22ක් ලෙසත්, තෙවන වටය ලකුණු 25-18ක් ලෙසත් ජයග්‍රහණය කරමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. කෙසේ නමුත් ප්‍රතිවාදීන් තරගයේ සිව්වැනි වටය ලකුණු 20-25ක් ලෙස ජයග්‍රහණය කළේ තරගයේ තීරණය තීරණාත්මක පස්වැනි වටයට රැගෙන යමිනි. කෙසේ නමුත් එහි දී ඉතා හොඳින් ක්‍රීඩා කළ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් එම වටය ලකුණු 15-11ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය.

අනෙක් අවසන් පූර්ව තරගයේ දී ‘Visakha Volleyball Club’ කණ්ඩායම ලකුණු 28-26, 25-20 හා 25-21ක් වශයෙන් ‘Samanun Ratchaburi’ කණ්ඩායම පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා ලදී.

සම්මාන

2005 වසරේ දී ආරම්භ කරනු ලැබූ තායිලන්ත පිරිමි වොලිබෝල් ලීග් තරගාවලිය මෙම වසරේ දී පැවතියේ 12 වන වරට වන අතර එහිදී 2016/17 තරග වාරයේ ශූරතාවය දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අභිබවමින් මෙවර ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ ‘Nakhon Ratchasima The Mall’ කණ්ඩායමයි.

ලීග් තරගාවලියේ ලකුණු සටහන

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<