මහනුවර ත්‍රිත්ව සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 107 වැනි වරටත් පැවැත්වෙන කන්ද උඩරට නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය 2 වැනි දිනයට නතර කරන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා සිටි අතර ඒ අනුව ඔවුන් මෙම තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 98ක් ලබා ගත යුතුයි.
තරගයේ 2 වැනි දිනයේ දී ත්‍රිත්ව විද්‍යාලයේ උප නායක ආදම් හිල්මි ශතකයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.
සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 157කට දැවී යයි
අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද (13) 2 වැනි දිනයට ආරම්භ වෙන්නේ ත්‍රිත්ව විද්‍යාලයීය පළමු ඉනිමේ කඩුලු 3ක් ලකුණු 66කට දැවී ගොස් තිබියදීයි. ඔවුන් එම ඉනිම ක්‍රීඩා කරන්නේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 157කට දැවී ගිය පිළිතුරු ඉනිමට එරෙහිවයි.
තරගය පළමු දිනයට අවසන් වෙද්දී දිමන්ත මහවිතාන නොදැවී ලකුණු 52ක් ද සහ දිනාල් ප්‍රනාන්දු ලකුණක් ද ලබා නොදැවී පිටියේ රැඳී සිටියා. අද ඔවුන්ගේ ඉනිමට ලකුණු 3ක් එක් වෙද්දී දිනාල් ප්‍රනාන්දු ලකුණු 4කට දැවී ගිය අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 2ක් ඉනිමට එක් වෙද්දී දිමන්ත මහවිතාන ද දැවී ගියා.
දිමන්ත මහවිතාන ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.
ත්‍රිත්ව විද්‍යාලයීය ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 71ක් ලෙස පවතිද්දී තරගයේ පාලනය සහමුලින් ම තමන් සතු කර ගැනීමට ආදම් හිල්මි සමත් වෙනවා. ඔහු වැඩි වාර ගණනක් පන්දුවට පහර දීමේ අවස්ථාවන් ලබා ගනිමින් ත්‍රිත්ව විද්‍යාලයීය ලකුණු පුවරුව 264ක් දක්වා රැගෙන ගියා.
ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 125ක් ලබා ගත් අතර 8 වැනි කඩුල්ලට සෙත්මික සෙනෙවිරත්න හා එක් ව ලකුණු 78ක සබඳතාවක් ද සහ විදුනෙත් ධම්මගේ එක් ව 9 වැනි කඩුල්ලට පන්දු 57ක සබඳතාවක් ද එක් කරනවා.
එහි දී සෙත්මික සෙනෙවිරත්න පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද සහ විදුනෙත් ධම්මගේ පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 15ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සිසල් හේමක ලකුණු 41කට කඩුලු 3ක් සහ කවිෂ සමරතුංග ලකුණු 55කට කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රවීන් ගමගේ, සනිතු ගුණතිලක, දසුන් වලියංග සහ රයන් ග්‍රෙගරි කඩුල්ල බැගින් දවා ගන්නවා.
- තෙවිඳු, හේෂාන්, විරාන් සහ මානිත දක්ෂතා දක්වයි
- සුලෝහිත සංග්රාම එක්දින තරගයේ ජය නාලන්දාවට
- ඇලෝසියස්වරුන් පළමු දිනයේ වැඩි වාසි ලබා ගනී
- රයිගම් – සල්පිටි ගැටුම විසඳුමකින් තොරව අවසන් වේ
ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 107ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 9ක් වෙද්දී දැවී යන අතර ඊට පසුව යැවුණ තවත් පන්දු 5කින් අනතුරු ව තරගය 2 වැනි දිනයට නතර කෙරෙනවා.
දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය චනිරු සේනාරත්න සතු වෙනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහනුවර සාන්තඅන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (57.3) සිසල් හේමක නොදැවී 64, කෞෂික කුමාරසිංහ 44, චනිරු සේනාරත්න 2/30, කනිල්ක ඇන්තනී 4/54, දිනාල් ප්‍රනාන්දු 2/09
- මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කඩුලු සියලුම දෙනා දැවී 264 (82.3) දිමන්ත මහවිතාන 54, ආදම් හිල්මි 125, සෙත්මික සෙනෙවිරත්න 29, කවීෂ සමරතුංග 3/55, සිසල් හේමක 3/41
- මහනුවර සාන්තඅන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 9 (6.4)
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 98ක් පිටුපසින්.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















