2025 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (03) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත් වුනා.
දෙදිනක් පුරාවට ක්‍රියාත්මක වූ මෙවර තරගාවලියේ දී සුපුරුදු පරිදි සිය දක්ෂතා දක්වමින් පහසුවෙන් සිය ජයග්‍රහණ තහවුරු කර ගැනීමට පිරිසක් සමත් වන අතරේ ම, තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ස්ථාන වෙනුවෙන් තරමක සටනක යෙදීමට ද සිදු වුනා.
කෙටි දුර ධාවනයේ තොරතුරු
කාන්තා සහ පිරිමි මීටර් 100 ඉසව් පළමු දිනයේ ම නිමා වෙද්දී, මීටර් 200 ඉසව් ඊයේ ක්‍රියාත්මක වුනා. පිරිමි මීටර් 200 ඉසව්වේ ජය යොවුන් ක්‍රීඩක ඉඳුසර විදුශාන් හට හිමි වූ අතර, ඔහුගේ තරග නිමි කාලය තත්පර 21.1ක් ලෙසයි සටහන් වුනේ. මෙහි කාන්තා ඉසව්ව ජය ගැනීමට M.Y.F.ශාෆියා සමත් වුනේ තත්පර 24.08ක කාලයක් සමඟයි.
මේ අතර බොහෝ ප්‍රේක්ෂක අවධානයක් හිමි වූ ඉසව්වක් වන පිරිමි මීටර් 400 ඉසව්ව ජය ගැනීමට අරුණ දර්ශන විසින් සමත් වුනේ තත්පර 45.91ක තරග නිමි කාලයක් සමඟයි. එහි දෙවැනි ස්ථානය කල්හාර ඉඳූප සිල්වා විසින් හිමි කරගනිද්දී, අරුණගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ කාලිංග කුමාරගේ තෙවැනි ස්ථානයට පත් වුනා.
මේ අතර පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව සුපුරුදු පරිදි ජය ගැනීමට අයෝමාල් අකලංක විසින් සමත් වුනේ තත්පර 50.27ක තරග නිමි කාලයක් ද සමඟයි. මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ ජය L.G.A සත්සරණි විසින් හිමි කර ගැනීමට සමත් වුනා.
කරුණාරත්න පවුල තවමත් සටනේ!
පිරිමි මීටර් 800 ඉසව්ව පහසුවෙන් ජය ගැනීමට හර්ශ කරුණාරත්න විසින් සමත් වුනේ මිනිත්තු 1.49.44ක තරග නිමි කාලයක් ද සමඟයි. තම සහෝදරිය වන තරුෂි විසින් මෙතෙක් කල් කාන්තා මැදි දුර ඉසව් සඳහා ශ්‍රී ලංකාවේ දිනා තිබූ ස්ථානය මෙන්ම එහි පිරිමි ඉසව් සඳහා තමන් ද නමක් දිනා ගැනීමට සූදානම් බව මෙහි දී හර්ශ විසින් ඉඟි කළා.
මෙහි කාන්තා ඉසව්ව ජය ගැනීමට W.G.S.ලක්ශානි විසින් සමත් වුනේ මිනිත්තු 2.05.67ක තරග නිමි කාලයක් සමඟයි.
මේ අතර පිරිමි මීටර් 1500 ඉසව්වේ ජය G.R.චතුරංග හට හිමි වුනා. පිරිමි මීටර් 10000 ඉසව්ව ජය ගැනීමට S. රොශාන් විසින් සමත් වුනා.
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
උස සහ දුර පනිමින් ජයග්‍රහණ ලැබූවන්
පිරිමි උස පැනීම ඉසව්ව ජය ගැනීමට S.A.T.දසුන් විසින් සමත් වුනේ මීටර් 2.10ක උසක් තරණය කරමිනුයි. මේ අතර නව තරගාවලි වාර්තාවක් සමඟ පිරිමි රිටි පැනීමේ ඉසව්ව ජය ගැනීමට A.පුවිතරන් සමත් වුනේ මීටර් 5.05ක උසක් තරණය කරමිනුයි.
කාන්තා උස පැනීම ඉසව්වේ සම ජයග්‍රාහිකාවන් ලෙස කෝශිලා පෙරේරා සහ පෙහන්සා ගමගේ තේරී පත් වුනේ මීටර් 1.71ක උසක් තරණය කිරීමත් සමඟයි. කාන්තා රිටි පැනීම ඉසව්වේ ජය නෙසරසා දක්ශිතා හට හිමි වුනා.
පිරිමි දුර පැනීම ඉසව්ව ජය ගැනීමට U.D.Y.W.කුමාර විසින් සමත් වූ අතර, පිරිමි තුන් පිම්ම ඉසව්වේ ජය K.A.P.මල්ශාන් විසින් ජය ගැනීමට සමත් වුනා. කාන්තා දුර පැනීම මෙන්ම තුන් පිම්ම ඉසව්ව ද තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගැනීමට මදුශානි හේරත් හට හැකි වුනා.
මේ අතර පිරිමි දස ප්‍රයාම ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ M.I.M මල්ශාන් විසින් සමත් වුනේ ලකුණු 7019ක් සමඟයි. කාන්තා සත් ප්‍රයාම ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ ලක්ශිකා සුගන්දි සමත් වුනේ ලකුණු 4464ක් සමඟයි.
- දක්ෂතම මලල ක්‍රීඩකයා – රුමේෂ් තරංග
- දක්ෂතම මලල ක්‍රීඩිකාව – නදීශා රාමනායක
දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<