සියල්ලටම පසුව එම සංචාරය මෙසේ නිමා විය

569
Zimbabwe’s gain

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පසුගිය මාසයේ දී ඔවුන් සාර්ථකව වාර්තාගත හඹා යාමක් සනිටුහන් කරමින් ආරම්භ වූ අතර තරගාවලිය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ද වාර්තාගත හඹා යාමක් වාර්තා කර ගනිමිනි. කෙසේ නමුත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල සියලුම තරග අංශයන්හි අවසාන භාගයේ පසුවන මෙම කණ්ඩායම් දෙකම තරගාවලිය පුරාවට දැඩි සටනක නිරත වූ බව සඳහන් කළ හැක.

වසර 7ක්, පුහුණුකරුවන් 8ක්, ධූර කාල 9ක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් මහතා පසුගිය සතියේ දී සිය ධූරයෙන් ඉල්ලා අස් විය.

පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් වැඩිදෙනෙක් ක්‍රීඩාවෙන් තරමක් දුරස් වී ඇත. එමනිසා ක්‍රිකට් ආයතනය අලෙවිකරණ කටයුතු සඳහා ක්‍රියාවට නංවන මහජන සම්බන්ධතා උපක්‍රම පවා අසාර්ථකත්වයට පත්ව ඇත. එමෙන්ම තරගාවලියට පෙර ඇතිවූ පුහුණුකරුවන් සම්බන්ධ ගැටලුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නමක් දිනා සිටි ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර ඇතිවූ මතභේදාත්මක තත්වයත් නිසා ද ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ යන නාමයට විශාල කැළලක් ඇතිවිය.

ඊට පෙර පැවති බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී පැවති තරගාවලි 3ම ජය පරාජයෙන් තොරව නිමාවීමත්, ඔවුන් හමුවේ ටෙස්ට් තරගයක් පරාජය වීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පසුබෑම යැයි කෙනෙක් සිතන්නේ නම් ඔහු මෙම සිම්බාබ්වේ තරග සංචාරය පිළිබඳව ද අමතක නොකළ යුතුය. දෙරට අතර පැවති එකම ටෙස්ට් තරගයේ දී ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් ගෞරවාන්විතව තරගාවලිය අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත්, සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කිරීමෙන් එක්කළ තුවාල සුව වීමට කාලයක් ගතවනු ඇති බව නොඅනුමානයි.

මීට දශකයකට පෙර කාල සීමාව කෙරෙහි හැරී බැලුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලම සංචිතයට පවා සිම්බාබ්වේ කණ්ඩායම ලෝකයේ ඕනෑම තැනක දී පරාජය කිරීමේ හැකියාව තිබුණි. නමුත් කාලයත් සමඟ එය වෙනස් වී ඇත. සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කිරීම ද මේ වන විට තරමක් අපහසු කාර්යයක් බවට පත්ව ඇත.

දුර්වල ශාරීරික ඉරියව්     

  Body Language

මෙහි දී ශාරීරික ඉරියව් යනුවෙන් අදහස් කෙරෙන්නේ සිරුරේ ඉරියව් තුළින් සිදුකරන අවාචික සන්නිවේදනයකි. එය මෙම තරගාවලියේ දී ඉතා දුර්වල මට්ටමක පැවති බව සඳහන් කළ හැක. විශේෂයෙන් පන්දු යවන්නන්ට පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රතිවාදීන් ප්‍රබල අභියෝගයක් එල්ල කළ අවස්ථාවල එය හොඳින් දැක ගත හැකි විය. ඔවුන් උඩපන්දු අත්හැරීම, පන්දු රැකීමේ දී දැක්වූ දුර්වලතා පමණක් නොව උද්‍යෝගය අතින් ද ඉතා පහළ මට්ටමක සිටියේය. මෙම තත්වය පළමු හා අවසන් එක්දින තරග දෙකේ දී මෙන්ම ටෙස්ට් තරගයේ සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවන ඉනිමේ දී ද මැනවින් ප්‍රදර්ශනය විය.

මීට පෙර වසරවල දී දැවී යාමක් ඉල්ලා සිටින විට මුත්තයියාගේ ඇස් විශාල කිරීම, සංගා කඩුල්ල පසුපස සිටිමින් විවිධ දේ පවසමින් පිතිකරුවන්ට පීඩනයක් එල්ල කිරීම, අර්ජුන විනිසුරුවන් සමඟ කටයුතු කළ ආකාරය, ප්‍රතිවාදීන් හමුවේ මහේලගේ සටන්කාමීත්වය වැනි දේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උද්‍යෝගය ඉහළ නැංවීමට සමත් විය. නමුත් අද වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්තිභාර ගුරුවරයාට බය සිසුන් පිරිසකගේ තත්වයට පත්ව ඇති බව දැක ගත හැක. ඔවුන්ට නිර්භය වීමට සිදු වේ. පන්දු රැකීමේ දී විශ්වාසයෙන් එම කටයුත්ත සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම තම ශාරීරික ඉරියව් තුළින් පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් කණ්ඩායමේම උද්‍යෝගය ඉහළ නැංවීමට අවශ්‍ය වේ.

‘ක්‍රීමර්’ ගේ බලපෑම    

Cremer

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පසුගිය කාලය පුරාවටම පා දඟපන්දු යවන්නන් හමුවේ දැඩි අපහසුතාවයට පත්විය. ඉම්රාන් තහීර්, යසීර් ෂා, ආදිල් රෂීඩ් සහ අමිත් මිෂ්රා වැනි පා දඟපන්දු යවන්නන්ට මුහුණ දීමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් පසුගිය කාලයේ දී දැඩි අපහසුතාවයට පත්වූ අතර එම ලැයිස්තුවට එක්වූ නවතම පන්දු යවන්නා වන්නේ ග්‍රැහැම් ක්‍රීමර් ය.

පැවති ටෙස්ට් තරගයේ දී ක්‍රීමර් ලකුණු 275කට කඩුලු 9ක් දවා ගන්නට සමත් විය. එය සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලබාගත් හොඳම දක්‍ෂතාවය ලෙස සටහන් වූ අතර ඔහු යැවූ පන්දුවාර 87.3 සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යවන්නෙක් යැවූ වැඩිම පන්දුවාර ප්‍රමාණය ලෙස ද සටහන් විය. විශේෂයෙන් ඔහුගේ නායකත්වය තරගාවලිය පුරාවට කැපී පෙනුණි. එමෙන්ම ඔහු හම්බන්තොට දී පැවති අවසන් එක්දින තරගයේ දී කණ්ඩායමේ දඟපන්දු යවන්නන් භාවිතා කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් මුලාවට පත්කරමින් කඩුලු දවාගත් ආකාරය ද සුවිශේෂී වේ.

ඔහු සිකන්ඩර් රාසා, ක්‍රේජ් අර්වයින් සහ හැමිල්ටන් මසකඩ්සා වැනි ක්‍රීඩකයින් පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කළ අතර ඔවුන් පසුගිය කාලය පුරාවට එතරම් දස්කම් අතර නොසිටීම නිසා දැඩි පීඩනයක් සහිතව ශ්‍රී ලංකාවට පැමිණියත් අවසානයේ දී විශිෂ්ට දස්කම් දක්වමින් එක්දින තරගාවලිය ජයග්‍රහණය කරන්නට සමත්කම් පෑවේය.

හේරත් කෙතරම් කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම බේරාගන්න ද?

Herath

ශ්‍රී ලංකා කණ්ඩායමට රංගන හේරත් නොමැතිව කුමක් වෙයිද? ‘Toga’ යන නාමයෙන් හඳුන්වන 39 හැවිරිදි වමත් දඟපන්දු යවන ක්‍රීඩක හේරත්, ටෙස්ට් තරගයේ දී ලකුණු 249කට කඩුලු 11ක් දවා ගනිමින් තරගය පුරාවට සිම්බාබ්වේ පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් විය. ඒ අනුව ඔහු මේ වන විට කඩුලු 384ක් දවාගෙන ඇති අතර ඉන් 306ක්ම ලබාගෙන ඇත්තේ 2011 වසරෙන් පසුවය. හේරත් මේ වන විට වැඩිම කඩුලු ලාභීන්ගේ 11 වෙනි ස්ථානයේත්, තරගයක දී කඩුලු 10 බැගින් අවස්ථා 8ක දී දවා ගනිමින් එම ලැයිස්තුවේ 4 වෙනි ස්ථානයේත් පසුවෙයි. ඔහුට වඩා තරගයක දී කඩුලු 10 බැගින් ලබා ගැනීමට සමත්ව ඇත්තේ රිචඩ් හඩ්ලී (09), ෂේන් වෝන් (10) සහ මුත්තයියා මුරලිදරන් (22) පමණි.

කෙසේ නමුත් ඔහු නොබෝ දිනකින්ම ක්‍රිකට් දිවියට සමුදෙනු ඇත. බොහෝ දුරට ඉදිරියේ දී පැවැත්වෙන ඉන්දියානු තරග සංචාරයට අනතුරුව හෝ ඉන් පසුව පිටත දී පැවැත්වෙන පාකිස්ථාන කණ්ඩායමට එරෙහි තරගාවලියට අනතුරුව ඔහු ක්‍රිකට් දිවියට සමු දෙනු ඇත. ඔහුගෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග දිනවන්නා කවුරුන් වෙයිද? තේරීම් කමිටුවේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ පළමු පෙළ තරග 99ක දී කඩුලු 558ක් දවා ගැනීමට සමත්ව ඇති මලින්ද පුෂ්පකුමාර ඉන් අනතුරුව හේරත්ගේ ස්ථානය ගැනීමට සමත් වනු ඇති බවයි. ඒ අනුව හේරත්ගේ සමුගැනීමෙන් අනතුරුව පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන් හෝ දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරු වීමට සමත් වෙයිද යන්න පිළිතුරක් දීමට අපහසු පැනයකි.

එක්දින හා පන්දුවාර 20 තරග සියුම්ව අධීක්ෂණයක්   

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය පරාජයට පත්වුවත් ඉදිරිපෙළ පිතිකරණයේ නියැලුණු පිතිකරුවන් 6 දෙනා දස්කම් අතරට පැමිණීමට සමත් විය. තරගාවලිය පුරාවට පිතිකරුවන් 6 දෙනෙකුගේ සේවය පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් අතර අවස්ථා 3ක දී ම ලකුණු 300 සීමාව පසුකර යන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරු යුගලය වශයෙන් සාර්ථක වූ අතර ඔවුන් වාර්තාවන් පවා පිහිටුවන්නට සමත් විය. ඒ අනුව ඔවුන් දෙදෙනාට ඉදිරියේ දීත් අවස්ථාව ලබා දිය යුතුය. එමෙන්ම ලංකා කණ්ඩායමේ කශේරුකාව අසේල ගුණරත්න යැයි කෙනෙකු පැවසිය හැක. එමෙන්ම බොහෝ දෙනෙක් එයට එකඟවන බවද නොඅනුමානය. ඔහු තුන් ඉරියව්වෙන් දක්වන දක්ෂතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වී ඇත.

කෙසේ නමුත් එක්දින තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැටලුව වී ඇත්තේ පන්දු යැවීමයි. අවසන් තරගයේ දී අවසන් පන්දුවාර කිහිපය හැරුණුකොට ඉහළ දස්කම් දක්වන්නට ලසිත් මාලිංග සමත් වූයේ නැත. නුවන් කුලසේකර ද එසේමය. නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල්ව නිසි පරිදි කළමනාකරණය කිරීම අවශ්‍ය වේ. ඒ අනුව එක්දින තරගවල දී කඩුලු ලබන්නේ කවුද? වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එහි දී වැදගත් වනු ඇත. ඒ අනුව ඔහුව ඉදිරියට නිසි පරිදි ආරක්ෂා කර ගත යුතුව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් එක්වූ 19 හැවිරිදි පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තරග 4ක දී කඩුලු 8ක් දවා ගනිමින් දක්‍ෂතා දක්වන්නට සමත් විය. ඒ අනුව ඔහුගේ සාමාන්‍ය 18ක් ලෙස සටහන් විය. කෙසේ නමුත් පිතිකරණයෙන් දක්‍ෂතා දක්වන්නේ නැතිව කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීමට ඔහුට හැකි වෙයිද යන්න ගැටලුවකි. අනෙක් පසින් ලක්ෂාන් සඳකැන් එක්දිනයක දී දක්ෂතා අතරට පැමිණෙන අතර තවත් දිනක දී එසේ නොවේ. එමෙන්ම අකිල ධනංජය ද අවසන් තරගයේ දී දක්‍ෂතා දැක්වීය. කෙසේ නමුත් අවශ්‍ය තත්වයන්ට අනුකූලව පන්දු යවන්නන් ගැන තීරණය ගැනීම පවතින්නේ තේරීම් කමිටුව සතුව ය.

නායකත්ව මාරුව සංක්‍රාන්ති සමය දිග්ගැස්සීමට ද?

Captaincy Change

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංක්‍රාන්ති සමය ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ තවත් දිශාවකට යොමු විය.

මැතිව්ස් නායකයෙක් ලෙසට වඩා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට වැදගත් වනු ඇත. කෙසේ නමුත් මෙම වෙනස නිසා සංක්‍රාන්ති සමයට තවත් කාලය ගතවෙයි ද? උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් සමඟින් තවත් තරග පරාජයට පත්වෙයිද? යන්න පැනනැඟෙන ගැටලුවකි.

චන්දිමාල් ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට රැගෙන යාමේ ගමනට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් විය. නමුත් දැනට ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු ඇත. කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ 15 වන ටෙස්ට් නායකයා වශයෙන් කණ්ඩායමේ සාමාජිකයින්ගේ දක්‍ෂතා පිළිබඳව ඔහු උද්යෝගයෙන් පසුවෙයි.

තරංග සතුව පවතින්නේ එක් ඉලක්කයකි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේ දී එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ දී ජයග්‍රහණය කරා මෙහෙයවීම ය. ඔහුට මෙම වසර 2ක කාලය තුළ ඉහළ මට්ටමේ එක්දින කණ්ඩායමක් සැකසීමට තරග 30ක පමණ ප්‍රමාණයක් ලැබෙනු ඇත. නමුත් ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තරගයකින් තොරව ඒ සඳහා සුදුසුකම් ලැබීමට උත්සාහ දරනු ඇත. ඒ සඳහා ඔවුන්ට ඉන්දියාව සමඟ තරගාවලියේ දී දක්‍ෂතා දක්වන්නට සිදු වන අතර අනෙක් පසින් එංගලන්තය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය විය යුතුය.    

නොමියෙන බලාපොරොත්තුව  

අපහසු කාල සීමාවක් ගත කිරීමට සිදුවීම ස්වාභාවික දෙයකි. නමුත් තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඉන්දියානු කණ්ඩායම ද ඊට සූදානමෙන් පසුවන බව නොඅනුමානය.

එමෙන්ම ආගමික, භාෂාමය වශයෙන් සහ ඇති අනෙකුත් සෑම වෙනස්කමක්ම පසෙකලා ශ්‍රී ලාංකිකයන්ට සතුට හා විනෝදය ගෙන දෙන දෙයක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දිය හැක. එමනිසා ඒ තත්වය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ද උන්නතිය උදෙසා ආකල්පමය වෙනසක්, පරිපාලනයේ වෙනසක් සහ කළමනාකාරිත්වයේ වෙනසක් සිදු කිරීමට මේ හොඳම කාලය නොවේ ද?

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න