අප මේ ගෙවා දමන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේත්, මහත්මා ගුණ ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර නීති රීති සහ සම්මුතීන් පවා පැනවීමට සිදුව ඇති යුගයකයි. තමන්ගේ හෝ තම කණ්ඩායමේ වාසිය අරභයා ක්‍රීඩාවේ වටිනාකම් අමතක කිරීම ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පවා අති සුලභ දසුනක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රීඩකයන්ටත් අමතක නොවන පාඩමක් උගන්වමින් මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ක්‍රීඩාවේ මහත්මා ගුණය තවදුරටත් රැඳී ඇති බව ප්‍රදර්ශනය කළ අති දුර්ලභ සහ සංවේදී අවස්තාවක් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා දැක ගන්නට ලැබුණි. ඒ මහනුවර ධර්මරාජ සහ කොළඹ සහිරා විදුහල් අතර මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගනයේ පැවති තරගයක් අතරතුරදීයි.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සහිරා ක්‍රීඩකයන් පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 204ක්. ඊට පිළිතුරු ලෙස වරෙක ධර්මරාජ කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 199ක් ලබා සිටින ලදී. ඒ අනුව ඔවුන්ට පළමු ඉනිමේ ජයක් ලබමින් ප්‍රසාද ලකුණු කිහිපයක් ශූරතා ලකුණු සටහනට එකතු කර ගැනීම සඳහා අවශ්‍යව තිබුනේ තවත් ලකුණු 6ක් පමණයි. ඒ වනවිට ලකුණු 4ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටි රුක්මාල් දිසානායකට එරෙහිව කඩුල්ල පසුපස සිට රැකගත් උඩපන්දුවක් පිලිබඳ සහිරා ක්‍රීඩකයන් ඉල්ලීමක් සිදු කළද ප්‍රධාන විනිශ්චයකරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රුක්මාල් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස සංඥා කරන ලදී. කෙසේ වෙතත් පන්දුව තම පිත්තේ දැවටුණු බව දැන සිටි රුක්මාල් තම මහත්මා ගුණය ප්‍රදර්ශනය කරමින් පිටියෙන් ඉවත්ව ගියේ ක්‍රීඩාංගනයේ සිටි සියල්ලන්ම විශ්මයෙන් මුසපත් වූ නිහඬතාවක ගිල්වමිනුයි.

නමුත් රුක්මාල් තම කණ්ඩායමේ අභිමානය ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම සඳහා කැප කළ බව මද වෙලාවකින් වටහා ගත් පිටියේ සිටි සියල්ලන්ම දැවැන්ත අත්පොලසන් නාදයක් ලබා දුන් අතර ඔහු ක්‍රීඩාගාරය වෙත පැමිණෙන විට පිටියේ සිටි සියල්ලන්ම තම අසුන් වලින් නැගිට මේ යොවුන් ක්‍රීඩකයාට ආචාර කරන ආකාරය දක්නට ලැබුණි.

මෙම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කල සහිරා විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කළ අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිවූයේ සහිරා විද්‍යාලයටයි. රුක්මාල් දිසානායක දෙවන ඉනිමේදී කඩුලු 5ක් දවාගත් අතර පළමු ඉනිමේදී ඔහු දවාගත් කඩුලු 4ත් සමග ඔහුගේ මේ තරගය තුල දස්කම් සනිටුහන් වූයේ ලකුණු 142 කට කඩුලු 9ක් ලෙසිනුයි.

මෙම තරගය අවසානයේදී සහිරා විද්‍යාලයීය පාලනාධිකාරිය, ක්‍රිකට් කමිටුව සමග එක්ව එම විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් කණ්ඩායම් දෙකටම ස්තූතිය පුද කලේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවනීය සංස්කෘතිය පලුදු නොකරමින් අවසන් කල තරගය වෙනුවෙනුයි. රැස්ව සිටි සියල්ලන්ගේ දැවැන්ත අත්පොලසන් හඬ මධ්‍යයේ සහිරා විද්‍යාලයීය ආදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් රුක්මාල් දිසානායක වෙත පිරිනමන්නටද සහිරා විදුහල්පති වරයා කටයුතු කරන ලදී.

තරගයෙන් අනතුරුව www.ThePapare.com වෙත අදහස් දක්වූ සහිරා විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩක සංගමයේ සභාපති මසාර් සුහයිර්ත් (Mazhar Zuhairthe) මෙසේ පැවසීය ”ක්‍රිකට් ක්‍රීඩාව ජීවන මාර්ගයක් ලෙස සැලකීමට සියලුම ක්‍රීඩකයන්ට පුහුණු කල යුතුයි. හැම පාසල් ක්‍රීඩකයෙක් හටම  ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැරි වුනත්, ක්‍රීඩාවෙන් ලැබෙන නිසඟ වටිනාකම්, ජීව ගුණය, සංස්කෘතික වටිනාකම්, හොඳ සිරිත් විරිත් වගේම විනය මේ දරුවන්ගේ අනාගත ජීවිතය නිසි ලෙස හැඩගස්වා ගැනීමට බෙහෙවින් උපකාරී වෙනවා. අන්න ඒ නිසයි හුදෙක් ඕනෑම ක්‍රමයකින් ජයග්‍රහණය කරනවා වෙනුවට නිසි වටිනාකම් සුරකිමින් ක්‍රීඩා කරන්නට, ප්‍රතිවාදීන්ට ගරු කරන්නට සහ අවංකව කටයුතු කරන්නට පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කල යුත්තේ.”

තම කණ්ඩායමේ ජයග්‍රහණයට වඩා ක්‍රීඩාවේ වටිනාකම් ඔසවා තැබීමට රුක්මාල් දිසානායක කටයුතු කල ආකාරය මෙන්ම එම මහත්මා ක්‍රියාව ඇගයීම සඳහා සහිරා විද්‍යාලයීය පාලනාධිකාරිය කටයුතු කල ආකාරයත් අනිවාර්යයෙන්ම පැසසිය යුතු ක්‍රියාවකි. මෙම සිදුවීම එහි සිටි සියල්ලන්ටම තම ජීවිතය පුරා මතකයේ රැඳෙන සුන්දර මතකයක් බවට පත්වනු නොඅනුමානය.

රුක්මාල්ගේ මෙම තීරණය හේතුවෙන් ඔහුගේ විදුහල් මාතාවට ලකුණු 5ක පළමු ඉනිමේ පරාජයක් අත්විඳින්නට සිදුවූවා පමණක් නොව එබැවින් අතිශය තරගකාරී පාසල් ලීග් ශූරතා ලකුණු සටහනට, ඉතා වැදගත් ප්‍රසාද ලකුණු කිහිපයක් එකතු කර ගැනීමට සහිරා විද්‍යාලයට හැකි විය. කෙසේ වෙතත් අද ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේත් ඇති විරල දසුනක් වන රුක්මාල් දිසානායකගේ මෙම පරාර්ථකාමී මහත්මා ක්‍රීඩා විලාශය හේතුවෙන්, ‘තවත් එක් ජයග්‍රහණයක්’ ලෙස වසර කිහිපයකින් අමතකව යාමට තිබු තරගයක් ධර්මරාජ ඉතිහාසයේ මෙන්ම මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේද රන් අකුරින් ලියවුනු පරිච්ඡේදයක් බවට මේ වන විටත් පත්ව අවසන්.