මේ පරාජය පාකිස්තානයට සුබ ලකුණක් ද?

140

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය නිමා වීම සඳහා ගත වුණේ පැය 4කටත් අඩු කාලයක්. පාකිස්තාන කණ්ඩායම ලකුණු 105කට සීමා කළ කොදෙව්වන් පන්දුවාර 14ක් අවසන් වීමටත් මත්තෙන් එම ඉලක්කය සපුරා ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව නැවත මතක් කරමිනි.

මේ, එම තරගය හරහා සිහියට නැගුණු කොදෙව්වන්, පාකිස්තානුවන් පිළිබඳ මෙන්ම ලෝක කුසලාන ඉතිහාසය හා වර්තමානය සමඟ බැඳුණු කරුණු කිහිපයක් පිළිබඳව කෙරෙන කෙටි විමසා බැලීමකි.

එංගලන්ත – දකුණු අප්‍රිකා තරගයෙන් ඉගෙන ගනිමු

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (30) දිනයේ එංගලන්තය…

කොදෙව්වන් කැමති පන්දුවාර 50ට ද? 60ට ද?

සීමිත පන්දුවාර ක්‍රිකට් ලෝක කුසලානයේ පන්දුවාර සීමා කිරීමේ පාඩුව වැඩියෙන්ම දැනුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට යැයි පැවසුවහොත් එම ප්‍රකාශයේ වැඩි වරදක් දැකිය නොහැකිය.

ඊට හේතුව නම්, කණ්ඩායමකට පන්දුවාර 60 බැගින් ක්‍රීඩා කිරීමට ලැබුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනේම (1975, 1979, 1983) අවසන් තරගවලට පිවිස ඉන් දෙවතාවක් ශූරතාවටත් හිමිකම් කියූ බටහිර ඉන්දීය කොදෙව්වන් එක්දින ලෝක කුසලානය ඉනිමකට පන්දුවාර 50 දක්වා සීමා කිරීමෙන් පසු තරගාවලි 8ක් පුරා අවසන් තරගයකට පිවිසෙන්නට හැකියාවක් නොලැබීමයි.

කොදෙව්වන් මේ වසරේ සිටින තැන කොතැනද?

මේ වසරේ පවා අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති බවට ක්‍රිකට් පණ්ඩිතයන් මත පල කළ කණ්ඩායම් අතරේ කොදෙව්වන් පිළිබඳ සඳහන් නොවූ තරම්. මෙවර තරගාවලිය සඳහා කෙළින්ම සුදුසුකම් ලබන්නට පවා අපොහොසත් වූ කොදෙව්වන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දීත් යන්තමින් ලෝක කුසලාන තරගාවලියේ ස්ථානයක් වෙන් කර ගත්තේ අවස්ථා කිහිපයක දී සිම්බාබ්වේ කණ්ඩායමේ අවාසනාවට සහ වර්ෂාවට පින් සිදුවන්නටයි.

කෙසේ වෙතත් මාස කිහිපයක් ඇතුළත කණ්ඩායම වෙනස්ම තලයකට ගෙන එන්නට ඔවුන් සමත් වූ බවක් දක්නට ලැබුණි. පුහුණු තරගයේ දී ලකුණු 400 ඉක්මවමින් පිත්තේ බලය පෙන්වූ කොදෙව්වන් අද සිය පළමු තරගයේ දී ම තමන්ගේ අභියෝගය හිතන තරම් පහසු එකක් නොවන වග ලොවට කියා පෑවේ පිත්තට වඩා පන්දුවේ බලය උපයෝගී කර ගනිමිනුයි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

කොදෙව්වන් කියා දුන් පාඩම

ක්‍රිකට් ලොවේ ප්‍රබලයන් සෙවීම සඳහා පැවති අවසන් ICC තරගාවලිය වූ 2017 ශූරයින්ගේ කුසලානයේ ශූරයන් ලෙස මෙම ලෝක කුසලානයට පිවිසි පාකිස්තානය ලකුණු 105කට සීමා කරන්නට කොදෙව් වේගපන්දු යවන්නන් පමණක් ප්‍රමාණවත් විය.

විශේෂත්වය නම් තමන් අතර ජාත්‍යන්තර එක්දින තරග 150ක අත්දැකීම් ඇති නායක ජේසන් හෝල්ඩර් සහ අන්ඩ්‍රේ රසල් තමන් අතරේ  කඩුලු 5ක් බෙදා ගනිද්දී, ජාත්‍යන්තර තරග 25ක ඒකාබද්ධ අත්දැකීම් ඇති යෞවනයන් වන ඔෂේන් තෝමස් සහ ශෙල්ඩන් කොට්‍රේල් ඉතිරි කඩුලු 5ට හිමිකම් කීමයි. කණ්ඩායමක සාර්ථකත්වය සඳහා අත්දැකීම් මෙන්ම තරුණ ජවයත් ඒකාබද්ධව සටන් කළ යුතු බවට තවත් නම් උදාහරණ කුමටද….?

මේ පරාජය පාකිස්තානයට සුබ ලකුණක් ද?

ලෝක කුසලාන තරගාවලියක සහභාගී වන පළමු තරගයේ දී ලකුණු 105කට දැවී යාම ඕනෑම කණ්ඩායමක මානසිකත්වය පහතම අඩියකට ඇද දමන කරුණක් බව අවිවාදිතවම පිළිගත හැකි කරුණකි.

නමුත් මේ ලැජ්ජා සහගත පරාජයේ කළුවලාව තුළ පාකිස්තානයට සැනසිය හැකි රිදී රේඛාවක් නැති ද? ක්‍රීඩකයන්ගේ කෝණයෙන් බැලුවහොත් මොහොමඩ් අමීර් කඩුලු 3ක් දවා ගැනීම ඔවුන්ට මේ තරගයෙන් ගත හැකි ධනාත්මක කරුණක්. නමුත් ඓතිහාසික වශයෙන් පාකිස්තානයට මෙම පරාජය දෙස ඉතා ඉහල ධනාත්මක කෝණයකින් බැලිය හැකි වේ.

1992 වසරේ මතක අතරින්

ලෝක කුසලාන තරගාවලියක පළමු වටයේ දී සියලු කණ්ඩායම් එකිනෙකා සමඟ තරග වදින ආකාරයේ තරග ආකෘතියක් අවසන් වරට ක්‍රියාත්මක වුණේ 1992 වසරේ දීයි. එම වසරේ දී ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායම කවුරුන්දැයි අමුතුවෙන් මතක් කර දිය යුතු නැත.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පාකිස්තානුවන් එම වසරේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළේත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගයකින්. එම තරගය ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණේ සුළුපටු පරතරයකින් නම් නොවේ. කඩුලු 10කින්. නමුත් තරගාවලියේ අවසන් ප්‍රතිඵලය…?

පාකිස්තානයට නොසිතූ ඉරණමක්

මෙම වීඩියෝ පටය ශ්‍රී ලංකාව තුල දී පමණක් නැරඹීමට හැකි අතර නිකුත් කළ දින සිට දින 3ක් දක්වා පමණක්…

අඩුම ලකුණු වාර්තා

මේ තරගයේ දී පාකිස්තානය සියල්ලන් දැවී රැස් කළ ලකුණු 105 ලෝක කුසලාන තරග ඉතිහාසයේ පාකිස්තාන කණ්ඩායම දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාවයි. එසේ නම්

ඔවුන්ගේ අඩුම ලෝක කුසලාන ලකුණු සංඛ්‍යාව කීය ද? එංගලන්තයට එරෙහිව සියල්ලන් දැවී රැස් කළ ලකුණු 74.

ඒ කුමන ලෝක කුසලාන තරගාවලියේ දී ද? 1992 බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක කුසලාන තරගාවලියේ

ඒ ලෝක කුසලානයේ ජයග්‍රාහකයන් කවුද? පාකිස්තානය

එපමණක් නොවේ,

1992 ලෝක කුසලානයට එවකට ලෝක ශූරයන් ලෙස පිවිසුණේ කවුද? ඕස්ට්‍රේලියාව

2019 ලෝක කුසලානයට වත්මන් ලෝක ශූරයන් ලෙස පිවිස සිටින්නේ කවුද? ඕස්ට්‍රේලියාව

තවත් පියවරක් පසුපසට,

1992 ලෝක කුසලානයට පෙර ශූරතාව දිනා ගත් කණ්ඩායම් දෙක මොනවා ද? ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව

2019 ලෝක කුසලානයට පෙර ශූරතාව දිනා ගත් කණ්ඩායම් දෙක මොනවාද? ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව

ඉතිහාසය නැවත සිදු වෙයි ද..?

ඓතිහාසික කරුණු මත පමණක් පදනම්ව ක්‍රීඩාවේ ජයග්‍රාහකයන් පිළිබඳ මත පල කිරීම කිසිසේත්ම තාක්ෂණිකව පිළිගත හැකි ක්‍රමවේදයක් නොවේ. එබැවින් මෙම කරුණු හුදෙක් ඉතිහාසය මතක් කිරීමක් මිස තාක්ෂණික කරුණු විමසා බැලීමක් නොවේ.

කෙසේ නමුත් ශාරීරික ශක්තිය, දියුණු පුහුණු වීමේ ක්‍රමවේද සහ තාක්ෂණික වැනි කරුණු වලින් ඉහළටම පැමිණ ඇති වත්මන් ලෝකයේ ක්‍රීඩාවේ ජයග්‍රහණ සඳහා වඩාත්ම බලපෑම් කළ හැකි අංගයක් ලෙස සැලකෙන්නේ මානසික ශක්තියයි.

එබැවින් අතීතයේ සිදුවීම් මානසික ශක්තියක් කර ගනිමින් වැරදි හදා ගන්නට පාකිස්තානුවන් ක්‍රියා කළහොත් 2017 ශූරයින්ගේ කුසලානයේ සිය පළමු තරගයේ දී තමන් පරාජය වූ ඉන්දියාව අවසන් මහා තරගයේ දී පරාජය කළාක් මෙන් මෙවරත් අවසන් තරගය දක්වා යන්නට ඔවුන්ට නොහැකි යැයි කාට නම් කිව හැකි ද….?

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<