කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා – සුගත්

541
Sugath Thilakarathne

මෙවර මලල ක්‍රීඩා ශූරතාවලියේදී පැවැති ප්‍රධාන අඩුපාඩු වූයේ කඩතොළු ධාවන පථයක මෙවරද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය තරග ඉසව්වන්හි නිතරවීමට සිදුවීමත් සහ  ඉලෙක්ට්‍රොනික කාලගණනය කිරීමේ යන්ත්‍රය අක්‍රීයවත් පැවතීමයි. ඒ හේතුවෙන් පසුගිය තෙදින පුරාම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි අපහසුතාවන්ට ලක්වීමට සිදුවූ අතර, එම අඩුපාඩුව පිළිබඳව මාධ්‍ය මගින් දිගින්ද දිගටම අනාවරණය කර සිටියේය.

කෙසේ නමුත් ඊයේ (10දා) පැවති සමාප්ති උත්සවයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා පවසා සිටියේ, මලල ක්‍රීඩා සංගමය හැටියට කරන්න පුළුවන් සීමාවක් තිබෙන බවත්, ක්‍රීඩාංගණ ඉදිකිරීම, තාක්‍ෂණික කටයුතු පිළිබඳව සංගමයක් හැටියට සොයාබැලීම අපහසු බවත්ය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ තිලකරත්න මහතා,

“මෙම ක්‍රීඩාංගණය (දියගම) හා සුගතදාස ක්‍රීඩාංගණය සතුව පැවැති ඉලෙක්ට්‍රොනික කාලගණන පද්ධතිය අක්‍රිය වෙලා තිබුණා. පසුගිය කාලෙ නොයෙකුත් ප්‍රශ්න තිබුණත්, මේ තත්ත්වයන් මැඬ පවත්වාගැනීමට උත්සාහ කළා. නමුත් අවසන් අවස්ථාවේදී මේ කටයුතු යථා තත්ත්වයට පත්කරගන්න බැරි වුණා. එනිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්‍ෂතා ඉදිරිපත් කිරීමේදී යම් අපහසුතාවක් වුණා. ඉදිරියේදී මේ කටයුතු වළක්වා ගන්න අපිට අනිවාර්යයෙන් සිදුවෙනවා.”

මලල ක්‍රීඩා සංගමය හැටියට අපිට කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. අපට ක්‍රීඩාංගණ ඉදිකිරීම, ඒ වගේම තාක්‍ෂණික කටයුතු පිළිබඳ සංගමයක් හැටියට කරන්න අමාරුයි. සංගමය හැටියට මේ ගැන කනගාටුවෙනවා. මේ දේවල් ඉදිරියේදීවත් ලැබුණොත් හොඳයි. අපට දක්‍ෂ ක්‍රීඩකයෝ නැතිව නෙමෙයි, නමුත් අපට තිබෙන පහසුකම් හා අඩුපාඩුකම් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඉදිරියට ගෙන ඒමේ අපහසුතාවක් තිබෙනවා. මේ දේවල් ඉදිරියේදී හෝ රාජ්‍ය මට්ටමින් මඟහැරලා දුන්නොත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඉදිරියට ගන්න පුළුවන්”යැයි ඔහු පවසා සිටියේය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට