ජර්මනියේ හැදී වැඩුණු ලංකාවේ දක්ෂයා; වසීම් රාසීක්

1655

ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් ඒ ඒ රටවල දී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කැපී පෙනෙන දස්කම් පෙන්වීම නුපුරුදු දසුනක් නොවේ. එවැනි බොහෝ ශ්‍රී ලාංකිකයින් උසස් තනතුරු වල කටයුතු කරන අතර එසේ සංක්‍රමණය වූ ක්‍රීඩකයින් ද ලෝක මට්ටමේ ක්‍රීඩා කරන්නට සමත්ව තිබේ.

ඉතිහාසයේ මතක ; FIFA පාපන්දු ලෝක කුසලානය (1930 – 1938)

ලොව වැඩිම පිරිසකගේ අවධානය දිනා ගන්නා පාපන්දු ලෝකයේ පාපන්දු මෞලි මංගල්‍යය,…

වසීම් රාසීක් නම් මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙමින් ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩයම් සඳහා ක්‍රීඩා කරන අතර යුරෝපයේ වෙසෙන වසීම් රාසීක් නම් ශ්‍රී ලාංකීය ක්‍රීඩා තරුවේ කතාවයි මේ.

ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහිවුණු දක්ෂ ක්‍රීඩා තරුවක වූ ජමාල් රාසීක්, වසීම් රාසීක්ගේ පියා විය. ජාතික හොකී කණ්ඩයමේ නායකයා හා උපනායකයා ලෙස ද කටයුතු කර ඇති ඔහු 1971 වසරේ දී රැකියාවක් සඳහා ජර්මනිය කරා ගිය අතර රියදුරෙකු ලෙස වසර කිහිපයක් සේවය කිරීමෙන් අනතුරුව ඔහුට විදේශීය තානාපති කාර්යාලයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස රැකියාවක් හිමි විය. 1994 දී ජමාල් විවාහ වීමෙන් පසු ඔහුගේ බිරිඳත් සමඟ බර්ලින් කරා සංක්‍රමණය වූ අතර වසීම් රාසීක් මෙලොව එළිය දුටුවේ මේ කාල සීමාවේ ය.   

ජමාල් පාපන්දු ක්‍රීඩාවට බෙහෙවින් ආදරය කළත් පාපන්දු ක්‍රීඩා කිරීමට තරම් ඔහුට හැකියාවක් නොතිබුණි. එබැවින් සිය පුත්‍රයා වූ වසීම් ව කුඩාකල සිටම පාපන්දු ක්‍රීඩාවට යොමු කරන්නට ජමාල් පියවර ගත්තේය.  

ආර්ථික අපහසුතා රැසක් මැද වසීම්ගේ පාපන්දු ක්‍රීඩාවට ඇති ළැදියාව වැඩි කරන්නට නිවසට රූපවාහිනියක් රැගෙන ආ ජමාල්, 1998 ලෝක කුසලානය නැරඹීමට වසිම්ව උනන්දු කළේය. සියලු අපහසුතා මැඩලමින් ජමාල්, වසීම්ව සිය නගරයේ තිබූ පාපන්දු තරග ද නරඹන්නට රැගෙන ගියේය.    

සිය පියාගේ ආශාවන් මල්ඵල ගන්වමින් වයස අවුරුදු අටේ දී පාපන්දු ක්‍රීඩා පිටියට පිවිසුණු වසීම් අද වන විට ජර්මනියේ දිදුලන පාපන්දු තරුවක වී හමාරය.

“පාපන්දු ක්‍රීඩාව ජර්මනියේ ඉතාම ජනප්‍රියයි, ඉතා පැරණි ක්‍රීඩා සමාජ බොහොමයක් තිබෙනවා, හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඒවාට ක්‍රීඩා කරන්න, මම බර්ලිනයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනුවා.”  ThePapare.com වෙත අදහස් දක්වමින් වසීම් සිය හඬ අවදි කළේය.

පාසල් වියේ පටන් දක්ෂතා දැක්වූ වසීම් දුටු ජර්මන් බලධාරීන් ඔහුව වයස අවුරුදු 16 දී ජර්මන් ජාතික කනිෂ්ඨ පාපන්දු කණ්ඩයමට තෝරාගත් නමුත් අවාසනාවන්ත ලෙස සිදු වූ ආබාධයක් නිසා අදියර දෙකකින් පැවති ජාතික කනිෂ්ඨ පුහුණු කඳවුරේ දෙවැනි පුහුණු සැසියෙන් කණ්ඩයමෙන් ඉවත් වීමට සිදු විය.   

වසීම්, ටර්ක් එම්රේ කෑන් (Turk Emre Can) හා ගැටී සිය උරහිසේ හා පාදයේ ආබාධයකට ලක්වූ අතර මාස හතරකට ක්‍රීඩාවෙන් ඉවත් වීමට ඔහුට සිදු විය. අවාසනාවන්ත ලෙස ජර්මන් ජාතික කනිෂ්ඨ සංචිතයේ වරම් ද ඔහුට අහිමි විය. වසීම් හා ගැටුණු ටර්ක් එම්රේ කෑන් වර්තමාන ලිවර්පූල් කණ්ඩයමේ ප්‍රධාන ක්‍රීඩකයෙකි.

“වයස අවුරුදු අටේ දී මම NFC Rot-Weiß Neukölln නම් ජර්මනියේ කුඩා පාපන්දු ක්‍රීඩා සමාජයක් සමඟ එක්වුණා. වයස අවුරුදු 9 සිට 16 දක්වා එස්. වී ටස්මානියා බර්ලින් කණ්ඩායම නියෝජනය කරද්දී මාව බර්ලින් පාපන්දු ක්‍රීඩා සමාජයට තෝරා ගත්තා. වාර්ෂිකව ජර්මනියේ පැවැත්වුණු පළාත් 16ක් සහභාගී වූ පාපන්දු තරගාවලියක් ක්‍රීඩා කිරීමට මට අවස්ථාව හිමි වුනා. එහි දී මම දැක්වූ දක්ෂතා නිසා තමයි මට ජර්මනියේ ජාතික කනිෂ්ඨ සංචිතයට වරම් හිමිවුණේ.”

“2011 දී බර්ලිනයේ පැවති වයස අවුරුදු 17න් පහළ පුහුණු කඳවුරක දී කනිෂ්ඨ FIFA ලෝක කුසලානයට මෙක්සිකෝවට යන කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් තේරුවා. නමුත් අවාසනාවන්ත ලෙස මගේ උරහිස ආබාධයකට ලක්වුනා.” ඒ අමිහිරි මතකයන් නැවත අවදි කරමින් වසීම් පැවසිය.

වසීම් සිය වෘත්තීමය පාපන්දු දිවිය ආරම්භ කරන්නේ එෆ්. සි යූනියන් බර්ලින් නම් ජර්මනියේ විශාල පාපන්දු ක්‍රීඩා සමාජයකිනි. 2011 සිට 2015 දක්වා ඔහු කොන්ත්‍රාත්තු ගත වූවත්, පිටිය මැද ඔහුගේ දක්ෂතාවලට ආබාධයක් හේතුවෙන් වරින් වර බාධා සිදු විය.  

2012-2013 තරග වාරයේ දී ගෝල හයක් ලබා ගැනීමට ඔහු සමත්වූ අතර 2013-2014 තරග වාරයේ ගෝල හයක් ද, 2014-2015 තරග වාරයේ ගෝල පහක් ද වාර්තා කර ගැනීමට ඔහු සමත් විය.

2015 ජූලි මාසයේ දී එෆ්. සි මැග්ඩේබර්ග් පාපන්දු කණ්ඩයමට ඔහු එක්වූ අතර එහි දී ද ඔහු වාර්තා කර ගත්තේ තරග 32ක දී ගෝල තුනක් පමණි.

සිය කොන්ත්‍රාත්තු කාලය නිමා වීමට පෙරම විවිධ රටවලින්, විවිධ කණ්ඩයම්වලින් ඔහුට ඇරයුම් ලැබුණු නමුත් ඔහු ජර්මනියේම රැඳී සිටීමට තීරණ කළේය. එංගලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය, තුර්කිය, මැලේසියාව වැනි රටවලින් ලැබුණු ඇරයුම් ප්‍රතික්ෂේප කළ ඔහු ජර්මනියේ FC Rot-Weiß Erfurt පාපන්දු කණ්ඩයම හා ගිවිසුම් ගත වූ අතර එම කණ්ඩයම ඉතා කුඩා නගරයක් වූ තුරින්ජියා නගරය කේන්ද්‍ර කරගෙන පැවති කණ්ඩයමක් විය.  

ඒ කාලසීමාවේ වසීම්ගේ පියාගේ ළඟම මිතුරෙකු වූ අප් කන්ට්‍රි ලන්යන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සහය පුහුණුකරු වූ දේවසාගයම් රාජාමනි මහතා වසිම්ව ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරවීම සඳහා ඉමහත් උත්සහයක් දැරූ අතර ඔහුගේ එම උත්සාහයන් සාර්ථක කරමින් වසීම් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණු සැසියකට එක්විය.  

ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ 1930 – 2014

පාපන්දු තරම් ලොව ජනාදරයට පත් තවත් ක්‍රීඩාවක් නැහැ. 1930දී ඇරඹුණු පාපන්දු ලෝක …

“2014 වසරේ මම ශ්‍රී ලංකාවට පැමිණි පසු මගේ පියාගේ මිතුරෙකු වූ දේවසාගයම් මහතාගේ උපකාරය මත මට ශ්‍රී ලංකා කණ්ඩයම සමඟ ක්‍රීඩා කරන්නට ලැබුණා. පසුගිය වසරේ ද මම නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණි පසු මට දින දහයක පුහුණු සැසියකට ජාතික කණ්ඩායමට එක්වීමට ඔහුගෙන් ඇරයුම් ලැබුණා. ඒ කාලයේම පාපන්දු සම්මේලනයේ නිලධාරියෙකු මාව හමුවී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාෆ් ශූරතාවයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි කර දෙන බව පැවසුවත් තවම කිසිවකු මාව සම්බන්ධ කරගත්තේ නැහැ.”

“මට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕන, මගේ ආසාව එක ආසියානු ශූරතාවයක් වත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න, මගේ තාත්තා උපරිම උත්සහ කළත් තවම එම හීනය හැබෑ කරගන්න බැරි වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ දක්ෂයි, නමුත් දේශීය තරගවල දී විදේශීය ක්‍රීඩකයෝත් ක්‍රීඩා කරනවා නම් ඔවුන්ට තවත් සිය දස්කම් ඉහළ දමා ගන්න පුළුවන්.”

රසීක්ගේ පවුලම පාපන්දුලෝලී පවුලක් වන අතර වසීම්ගේ සහෝදරයින් දෙදෙනා ද මේ වන විට පාපන්දු පිටියේ දස්කම් පෙන්වමින් සිටි.

“මගේ සහෝදරයින් දෙදෙනා, මුර්ශිඩ් හා මුසාකීර්, දෙන්නම මටත් වඩා දක්ෂයි, මුර්ශිඩ් හොඳින් ඉගෙන ගන්න ගමන් ක්‍රීඩාවේත් නිරත වෙනවා, මුසාකීර් වික්ටෝරියා බර්ලින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවා.”

වසීම්ගේ අරමුණ ක්‍රීඩාවේ මෙන්ම ජිවිතයේ ද දක්ෂයෙකු වීමයි.

“මගේ තාත්තා මාව පාපන්දු ක්‍රීඩා කිරීමට උනන්දු කළ ද මගේ අම්මා මට කිව්වේ ඉගෙනීම් වැඩවලටත් අවධානය යොමු කරන්න කියලා, නමුත් ඒ දෙකම එක වගේ කරන්න මට අමාරු වුනා, මට සිංහල හා දෙමළ ඉගෙන ගන්න ඕන වුනා, ඉතින් මගේ දෙමව්පියෝ මට ලංකාවෙන් පොත් ගෙනල්ලා දුන්නා, දැන් මට සිංහල දෙමළ කතා කරන්න පුළුවන්. මම පැසෝ නම් ප්‍රසිද්ධ ක්‍රීඩා පාසලේ උසස් අධ්‍යාපනය හදාරලා ඉවරයි. මගේ අම්මාගේ බලාපොරොත්තු ඉටු කරන්න, දැන් මම පාපන්දුවලට මගේ අවධානය යොමු කරනවා, මම විශ්ව විද්‍යාලයකටත් තේරිලා ඉන්නේ.”

වසිම්ගේ අනාගත බලාපොරොත්තුව කුමක් විය හැකි ද?

“මගේ ප්‍රධාන බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරලා, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ගේන්න, යුරෝපයේ ක්‍රීඩා කරන එකම ශ්‍රී ලාංකිකයා ලෙස මගේ බලාපොරොත්තුව එංගලන්තයේ ක්‍රීඩා කරන්න, විශේෂයෙන් ආර්සනෙල් ක්‍රීඩා සමාජයට.”

ජමාල් රාසීක් මහතා හා එම මැතිණියගේ උත්සාහය හා උනන්දුව වසිම්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවයි. ගුරුතලාවෙන් බිහි වූ ජමාල් මහතා සිය පුත්‍රයින් තිදෙනා ජර්මනියේ ප්‍රධාන පෙළේ පාපන්දු කණ්ඩයම්වලට ක්‍රීඩා කරවන්නට සමත් වුනා. සියලු බාධක මැදින් වසීම්ගේ මව්පියන්ගේ උත්සාහය ඔහුගේ ක්‍රීඩා දිවියට ශක්තිමත් අඩිතාලමක් වුනා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<