ප්‍රදීප්ගේ හිදැසට වමතෙක්

1028

ටෙස්ට් තරග දෙකකින් සමන්විත ඕස්ට්‍රේලියානු තරග සංචාරයට පෙර පැවති පුහුණු තරගය අතරතුර ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් වෙනුවට වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

>>නුවන් ප්‍රදීප්ට රතු එළියක්

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන අතර දෙවන ටෙස්ට් තරගයේ දී අවස්ථාවක් තිබේ නම් ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමට හැකිය. විශ්ව ප්‍රනාන්දු මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති අතර ඔහු හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වනු ඇත.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පසුගිය (19)  නිමා වූ තෙදින දිවා-රාත්‍රි පුහුණු තරගයේ දෙවන දිනයේ දී කලව ආශ්‍රිතව ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් හට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී ගියේය.

>>රත්වූ යකඩය කෙසේ හෝ නවාගන්නට සිංහයින් සීරුවෙන්

දකුණතින් වේගපන්දු යවන ප්‍රදීප් ආබාධයට ලක්වීමට පෙර එම තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර දෙකක් පමණි. පුහුණු තරගයේ පළමු ඉනිමේ දී පන්දු යවමින් සිටිය දී ප්‍රදීප් මෙම ආබාධයට ලක්වූ අතර ඉන් අනතුරුව ඔහු පන්දු රැකීමෙන් වැළකී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පිටියෙන් ඉවත් කළේය.

ප්‍රනාන්දු මීට පෙර 2016 හා 2017 වර්ෂවල දී ඉන්දියාවට හා ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර එම ටෙස්ට් තරග දෙක තුල කඩුලු 3ක් දවාගෙන තිබෙන්නේ 34.33ක පමණ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ප්‍රනාන්දු වමතින් වේගපන්දු යවන ක්‍රීඩකයෙක් නිසා අනෙක් වේගපන්දු යවන්නන්ට සාපේක්ෂව වැඩි යමක් ඔහුගෙන් බලාපොරොත්තු වීමට හැකිය. මේ වන විට පැවැත්වෙන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී කොළඹ ක්‍රිකට් සමාජය නියෝජනය කරන ඔහු තරග 6ක් අවසානයේ කඩුලු 9ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ වේගපන්දු යවන්නන්ට හිතකර නොවන තණතීරු මත දස්කම් දක්වමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<