ටකාසේ බෝයගනේ දී ජපන් ආධිපත්‍ය පතුරයි

239

ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබාහු රෙජිමේන්තුව මගින් සංවිධානය කරනු ලබන 17න් වැනි විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය පසුගිය දා බෝයගනේ විජයබාහු මොටෝක්‍රොස්  ධාවන පථයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. මෝටර් රථ තරගවලට දැඩි ඇල්මක් දක්වන ප්‍රේක්ෂක ජනතාවක් වෙසෙන කුරුණෑගල කෙන්ද්‍ර කර ගනිමින් පැවැත්වුන මෙම තරගාවලියට විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් සහභාගී වී සිටියා. 

දේශීය, විදේශීය තරගකරුවන්ගෙන් බෝයගනේ උණුසුම් වෙයි

දවස පුරා වැහිබර කාලගුණ තත්වයක් පැවතිය ද විටින් විට ඇදහැළුණු කුඩා වැසි හැරුණු කොට තරගාවලිය පුරා ඉතා හොඳ කාලගුණ තත්වයක් පැවති අතර ධාවන පථය ඉතාමත් හොඳ මට්ටමකින් පවත්වා ගැනීමට මෙම කාලගුණය ඉවහල් වුනා. 

යතුරුපැදි තරග පමණක් පැවැත්වෙන මෙම තරගාවලිය, බෝයගනේ ධාවන පථයේ ඇති අභියෝගාත්මක හා තාක්ෂණයෙන්  පිරිපුන් බව නිසා දේශීය මෙන්ම විදේශීය ධාවකයින් අතර ඉතා ජනප්‍රිය තරගාවලියක්. 

මෙවර විජයබාහු මෝටක්‍රෝස් තරගාවලිය සඳහා ජපන් ජාතික ටකාසේ ටනාකා, ඉන්දීය ජාතික රුග්වෙද් බාගුර්ජී සහ අපිචායි රන්ගජරේම් හා සහරත් ප්රෙම්පූල් යන තායිලන්ත ජාතික ධාවකයින් සහභාගී වුනා.

ඉසව් 13කින් යුත් මෙම තරගාවලියේ  ප්‍රධානතම ඉසව්ව වන MX 125cc සිට 250cc දක්වා කාණ්ඩයේ යතුරුපැදි තරග අදියර දෙකකින් පැවැත්වුනා.

ප්‍රථම අදියරේ දී ම තම ආධිපත්‍ය පැතිරවීමට සමත් වූ ජපන් ජාතික ටකාසේ ටනාකා පහසු ජයක් ලබා ගත් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් තායිලන්ත ජාතික අපිචායි රන්ගජරේම් සහ සහරත් ප්රෙම්පූල් යන ක්‍රීඩකයින් හට හිමි වුනා.

දෙවන අදියරේ දී විදෙස් ක්‍රීඩකයින් හට යම් අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලාංකික ජක්  ගුණවර්ධන සහ සමීර ප්‍රේමරත්න සමත් වූවත් ප්‍රථම, දෙවන හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ටකාසේ ටනාකා, සහරත් ප්රෙම්පූල් සහ අපිචායි රන්ගජරේම් යන ක්‍රීඩකයින්ට හිමි වුනා. 

විජයබාහු මෝටක්‍රොස් තරගාවලියට නැවත වරක් එක්වූ MX 125cc සිට 450cc දක්වා වූ තරගය තුලත් සුපුරුදු දක්ෂතා දැක්වීමට ජපන් ජාතික ටකාසේ ටනකා සමත් වූ අතර එහි දෙවන ස්ථානය දින ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ජක් ගුණවර්ධන සමත් වුනා. මෙම තරගයේ තුන්වැනි ස්ථානය හිමි වුනේ තායි ක්‍රීඩක අපිචායි රන්ගජරේම් හටයි.

Photos: Vijayabahu Supercross 2019

ThePapare.com | Faisal Ramees | 25/08/2019 Editing and re-using images without permission of ThePapare.com…

පසුගිය වසරේ හොඳම ධාවකයා ලෙස කිරුළු පැලඳූ ඉෂාන් දසනායක මෙවර තරගාවලියේ ඔහු සහභාගී වූ ඉසව් කිසිවක් නිමා කිරීමට සමත් නොවීම කැපී පෙනෙන සිදුවීමක් වුනා.

මෙම තරගාවලියට විශේෂ වන දිගම පිම්ම කුසලානය ජයග්‍රහණය කිරීමට අඩි 132 පිම්මක් සමඟින් යොවුන් ක්‍රීඩක විනුෂ්ක සිල්වා සමත් වුනා.

අවුරුදු15න් පහළ හොඳම ධාවකයා ලෙස කේසර ගොඩගේ සම්මාන ලැබූ අතර හොඳම යුද හමුදා ධාවකයා ලෙස සමීර ප්‍රේමරත්න සම්මාන ලැබුවා. හොඳම ධාවකයා ලෙස සම්මාන ලැබීමට තමන්  සහභාගී වූ සෑම තරගයකින්ම විශිෂ්ට ලෙස ජය ගත් ජපන් ජාතික ටකාසේ ටනාකා සමත් වුනා.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<