ටයිගර් වුඩ්ස් හට ඉහළම ඇමරිකානු ගෞරවය

306

ඇමරිකානු පුරවැසියෙකුට ලද හැකි ඉහළම ගෞරව පදක්කම වන “ජනාධිපති නිදහස් පදක්කම” සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් හට පුද කිරීමට ඇමරිකානු රජය පියවර ගත්තේ පසුගිය සඳුදා (06) යි.

43 හැවිරිදි ටයිගර් වුඩ්ස්, පසුගිය මාසයේ දී තම පස්වැනි මාස්ටර්ස් ශූරතාවය දිනාගත්තේය. ඒ වසර 11කට පසුව ඔහු විසින් දිනා ගත් පළමු මාස්ටර්ස් ශූරතාවයයි. තමන්ට වධ දෙමින් තිබූ පෞද්ගලික ජීවන ගැටලු සහ ශාරීරික ගැටලු රැසක් පසුකරමින් ඔහු විසින් එම ශූරතාවය ලබාගැනීම ඔහුගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ නෙතට ද ජයග්‍රාහී හැඟුම් එක්කළේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිදහස් පදක්කම ටයිගර් වුඩ්ස් හට පිරිනමන විට ඔහු සංවේදී විය. පදක්කම් ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ධවල මන්දිරයේ දීයි. කඳුළු පිරි දෙනෙතින් ටයිගර් වුඩ්ස් පවසා සිටියේ ජයග්‍රහණ අහිමි වූ වසරවල දී තමන් හා සිටි සියලු දෙනාට තමන් ස්තුතිවන්ත වන බවයි.

ඔබ හොඳත් නරකත්, ඉහළ පහළ යෑමුත් දැක තිබෙනවා. ඔබ සියලු දෙනා නොමැති වූවා නම් අද මම මෙතැන ඉන්නේ නැහැ.” ඔහු කීවේය.

මීට වසර 22කට පෙර 21 හැවිරිදි තරුණයෙකු ලෙස ඔගස්ටා මාස්ටර්ස් ශූරතාවය දිනාගෙන ගොල්ෆ් ලොවට නැවුම් පුවතක් වූ ඔහු තම මව සහ පියාගේ සහාය ද සිහිකළේය.

මගේ තාත්තා නම් අද ජීවතුන් අතර නැහැ. ඒත් අම්මා මෙතන ඉන්නවා. මම ආදරෙයි අම්මේ.” ඔහු සිය මවට ගෞරව දැක්වූයේ එලෙසිනි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුව හඳුන්වා දුන්නේ “ඇමරිකානු විශිෂ්ටත්වයේ, භක්තිමත් භාවයේ සහ කැපවීමේ ගෝලීය සලකුණක්” වශයෙනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<