ක්‍රිකට් ජීවිතයේ ගත් සංවේදී තීරණයක් ගැන තරංග හෙළි කරයි!

6074

අත්දැකීම් සහිත ආරම්භක පිතිකරු උපුල් තරංග ඊයේ දිනයේ (28) හොඳින් පිත්ත හසුරුවමින් පන්දු 34ක් තුල ලකුණු 45ක් රැස්කර ගත්තේය. ඒ දකුණු අප්‍රිකානු ආරාධිත පිළට එරෙහිව බෙනෝනි හිදී පැවති පුහුණු තරගය අතරතුරේයි.

මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කඩුලු 6ක පහසු ජයක් හිමි විය. කෙසේ වෙතත් එළඹෙන ඉරිදා දිනයේ ජොහැන්ස්බර්ග් හි වොන්ඩරස් පිටියේ දී පැවැත්වෙන පළමු එක්දින තරගය එතරම් ලෙහෙසියට ගැනීමට නොහැකි බව තරංග දනියි.

“මේක තමයි අපි ලෝක කුසලානයට කලින් මුහුණ දෙන අවසන් තරගාවලිය. ඒ නිසා මෙහි දී දක්ෂතා දැක්වුවොත් මට ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිවන බව දන්නවා. මට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මං මීට පෙර දකුණු අප්‍රිකානු සංචාර හොඳින් කරලා තියෙනවා. ඒත් මේක අලුත්ම තරගාවලියක් නිසා නැවතත් මුල සිට පටන්ගත යුතුයි. ඔවුන්ගේ රටේ දී ම දකුණු අප්‍රිකානු කණ්ඩායමට මුහුණ දීම පහසු දෙයක් නෙමෙයි” තරංග ThePapare.com වෙබ් අඩවියට අදහස් දක්වමින් කියා සිටියි.

සුබ පෙරනිමිති රැසක් මැද ශ්‍රී ලංකාව පුහුණු තරගය ජය ගනියි

විශිෂ්ට ටෙස්ට් තරග ජයග්‍රහණ දෙකක් සමඟින් ….

“දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ අභියෝගය මීට වඩා සෑහෙන ප්‍රබල විය හැකියි. එක් ක්‍රීඩකයෙකු දෙදෙනෙකු හැරුණු විට ඊයේ අපට ලැබුණු අභියෝගය ජාත්‍යන්තර මට්ටමේ එකක් නෙමෙයි. එක්දින තරගාවලිය මීට වඩා හාත්පසින්ම වෙනස් වේවි.”

තරංග හැරුණු විට තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ලෝක කුසලානයේ ආරම්භක පිතිකරණ ස්ථානය වෙනුවෙන් සටන් වදියි. එක්දින කණ්ඩායමේ උප නායකත්වය හිමිව ඇති නිරෝෂන් දික්වැල්ල හැරුණු විට, ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු ද එම තරගයට අවතීර්ණ වී ඇත.

“ක්‍රීඩකයින් හතර පස් දෙනෙක්ම ලෝක කුසලානයේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන්නට සූදානමින් සිටිනවා. ඒ නිසා වාසනාවත් වැදගත්. ඔබ හොඳින් ලකුණු රැස් කිරීම අනිවාර්යයි. ඒ වෙනුවෙන් මේ තරගාවලිය අතිශය වැදගත්. මට ඊළඟ තරගාවලිය වන විට කුමක් සිදු වේවි දැයි ඔබට නිවැරදිව අනුමාන කරන්නට හැකියාවක් නෑ. ලෝක කුසලානය ගැන සිතීමට වඩා වැදගත් වන්නේ මීළඟට පැවැත්වෙන එක්දින තරගය ගැන සිතීමයි. ඔබ වර්තමානය තුල ජීවත් විය යුතුයි.”

“මං මේ වන විට ජාත්‍යන්තර පිටියේ වසර 14ක් ක්‍රීඩා කරලා තියෙනවා. මං හිතන්නෙ නෑ වෙනත් කිසිම ක්‍රීඩකයෙක් මං තරම් වාර ගණනක් කණ්ඩායමෙන් කැපී ගිහින් ඇති කියලා. මේ වන විට මං කණ්ඩායමෙන් ඉවත් කළ වාර ගණන 10කටත් වැඩි ඇති. ශ්‍රී ලංකාවේ දී වගේම විදේශයන් හිදී පැවති තරගාවලිවල දී මා නැවතත් කණ්ඩායම සමඟ එක්වූ අවස්ථාවල දී හොඳින් ලකුණු රැස් කළා. මගේ පැත්තෙන් වැදගත්ම දේ තමයි ක්‍රීඩා පිටියට ගොස් හොඳින් ලකුණු රැස් කිරීම.” ඔහු කියා සිටියි.

ICC කමිටුව තුළ දී ඉන්දියාවට ගහන වගකීම PCB විසින් භාරගනියි

ක්‍රිකට් ලෝක කුසලානයට තවත් ඉතිරිව ඇත්තේ මාස …..

මීට වසර දෙකකට පෙරාතුව ශ්‍රී ලංකා පිළ අවසන් වරට දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදුණු අවස්ථාවේ තරංග ද කේප්ටවුන් හිදී පැවති සිව්වැනි එක්දින තරගය අතරතුරේ දී ශතකයක් ලබාගෙන සාර්ථක ක්‍රීඩකයෙකු වශයෙන් නැවතත් දිවයිනට ළඟා වූවෙකි.

“දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් ඉතාමත් ආක්‍රමණශීලීයි. මෙහේ තියෙන තණතිලි වල වේගය සහ ඉපිලීම හොඳින්ම තිබෙන නිසා ඔවුන් තමන්ගේ උස භාවිතා කරමින් ඉන් හොඳ වාසියක් ලබා ගන්නවා. අපි ආරක්ෂාකාරීව ක්‍රීඩා කරන්නට ගියොත් එයත් යම් තරමක අවාසියක් විය හැකියි. මං අවසන් වරට සාර්ථක වූයේ ධනාත්මකව ක්‍රීඩා කිරීම නිසයි. මං දකුණු අප්‍රිකාවේ දී සාර්ථක වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සමඟින් සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස අනුව ඔබ ධනාත්මකව ක්‍රීඩා කිරීම සහ ඔබගේ හැකියාව ගැන විශ්වාසය තබා ගැනීම වැදගත්. ඒක මට ලකුණු ලබා ගැනීමේදීත් වැදගත් වේවි.” තරංග තවදුරටත් කියා සිටියි.

ජාත්‍යන්තර එක්දින තරග 232ක දී ශතක 15ක් සහ අර්ධ ශතක 37ක් රැස්කර ගෙන ඇති මෙම පරිණත ක්‍රීඩකයා ලෝක කුසලානය වෙනුවෙන් නිරායාසයෙන්ම සුදුසුකම් ලැබිය යුතු ක්‍රීඩකයෙකු වුවද ඔහුගේ වත්මන් දස්කම් එම තේරීමට යම් අභියෝගයක් එල්ල කරයි. ඔහු නායකත්වය හොබවද්දී මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ ද එය ඔහුට හුරුපුරුදු ආරම්භක පිතිකරණ ස්ථානය තරම් සාර්ථක වූයේ නැත.

“මං නායකයා ලෙස කටයුතු කරන කාලයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන දෙදෙනාම කණ්ඩායමත් සමඟ නොසිටි නිසා අපි නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වැනි තරුණ ක්‍රීඩකයින් කණ්ඩායමට එකතු කර ගත්තා. ඔවුන් ආරම්භක පිතිකරණ ස්ථානයේ සාර්ථක වුනා. මං කණ්ඩායමේ මැදපෙළ නියෝජනය කරන කාල වකවානුවේ තේරීම් කමිටුව මගෙන් විමසා සිටියා එම තරුණ ක්‍රීඩකයින් මැදපෙළට ගන්නවාට වඩා මට මැදපෙළ ක්‍රීඩා කිරීමට පුළුවන් ද කියලා. ඒක තීරණාත්මක අවස්ථාවක් වුවත් මං කණ්ඩායම ගැන හිතලා ඒ අභියෝගය භාර ගත්තා.”

“ස්ටේන්ටයි රබාඩාටයි ගහන්න තමයි මං Plan කරලා තිබ්බේ.” – ඕෂද

පසුගිය සෙනසුරාදා (23) නිමාවට පත්වුණු ශ්‍රී ….

සමහර තීරණ කණ්ඩායම පැත්තෙන් සුබවාදී වුවද එය ආපසු හැරී විත් ඔබටම ගැටලු ඇති කිරීමට ඉඩ තිබේ. “ඒක ඔබට පෞද්ගලිකව බලපෑම් ඇති කළ හැකියි. නවක ආරම්භක පිතිකරුවන් හොඳින් ලකුණු රැස් කරද්දී ඔබ මැදපෙළට ඇවිත් අසාර්ථක වුනොත්, මුල සිටම මැදපෙළ ක්‍රීඩා කළ කණ්ඩායමේ අනෙක් ප්‍රවීණ ක්‍රීඩකයින් නැවතත් කණ්ඩායමට පැමිණීමෙන් අනතුරුව ඔබට ස්ථානය අහිමි විය හැකියි. ඒක තමයි අවසානයේ මටත් සිදු වුනේ. නමුත් අදටත් මට ඒ සංවේදී තීරණය ගැන කනගාටුවක් නෑ. මං ආත්මාර්ථකාමී වෙලා මගේ පිතිකරණ ස්ථානය ගැන පමණක් සිතා කටයුතු කළේ නෑ.” තරංග වැඩිදුරටත් පවසයි.

Rex Clementine විසින් රචිත Tharanga feels no pressure despite World Cup spot up for grabs ලිපියේ සිංහල අනුවාදයකි.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<