ජපාන ප්‍රේක්ෂකාගාරය හැඬවූ ශ්‍රී ලංකාවේ සොඳුරු පරාජිතයා

1062
onceuponatimeinthevest.blogspot.com

ඒ 1964 ග්‍රීෂ්ම ඍතුවයි. දිනය 1964 ඔක්තෝබර් 14 වැනිදාය. එදින ජපානයේ ටෝකියෝ නුවර ජාතික ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී පැවතුනි. ඒ 1964 ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ආරම්භ වන දිනය එදින බැවිනි. 1964 ඔලිම්පික් උළෙලේ මීටර් 10 000 පිරිමි තරගය ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් වී තිබුණි.

ලොව ප්‍රකට දුර දිවීමේ ක්‍රීඩකයන් රාශියක්ම මෙම ඉසව්ව සඳහා සහභාගී වන බැවින් ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය මීටර් 10 000 ඉසව්ව වෙත යොමුවී තිබුණි.

ඉසව්ව ඇරඹුණි. ක්‍රීඩාංගණය වෙත රැස්වී සිටි අතිවිශාල ජනකායේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ තරගය තරගකරුවන් එකිනෙක පරයා ඉදිරියට ඇදුනි. අපේක්ෂා කළ පරිදිම ප්‍රකට ක්‍රීඩා තරු සියලු දෙනා මීටර් 10 000 ඉසව්වේ දී සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් විය. ඔවුන් කිහිප දෙනා මුල් ස්ථාන කිහිපය දිනාගත්හ. මුල් ස්ථාන කිහිපය දිනූ ක්‍රීඩකයන් සිය සතුට සමරමින් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් සිටියහ.

“ප්‍රධාන තරගකරුවන් විසින් ඉසව්ව ජය ගත් අවස්ථාව” (theodysseyonline.com)

අනෙක් තරගකරුවන් ද එකිනෙකා තරගය නිම කළහ. ඒ අතරෙහි තවත් තරගකරුවන් කිහිප දෙනෙකු තරගය අවසන් නොකරම තරගයෙන් ඉවත් විය. එය දුර දිවීමේ දී සාමාන්‍යයෙන් දැක ගත හැකි දෙයකි. තරග සංවිධායකයන් අනෙක් ඉසව්ව පැවැත්වීම සඳහා ලක ලැහැස්ති විය.

නමුත් ක්‍රීඩාංගණයේ යම් අමුතු දෙයක් සිදුවෙමින් පැවතුනි. මීටර් 10 000 ඉසව්ව සඳහා සහභාගී වූ එක් තරගකරුවෙකු තවමත් ධාවනයේ යෙදී සිටියේය. එතරම් උස මහත ක්‍රීඩකයෙකු නොවූ මොහුගේ නම හෝ රට හෝ ක්‍රීඩාංගණයේ සිටි ක්‍රීඩාලෝලීන්ගෙන් බොහෝ දෙනා දැන නොසිටියහ. ඔහුගේ ක්‍රීඩක අංකය වූයේ 67 යි.  සැබවින්ම ඔහු පරාජිත ක්‍රීඩකයෙකි. මන්ද ඒ වන විට අනෙකුත් සියලුම ක්‍රීඩකයන් ධාවනයේ යෙදී නොසිටි බැවිනි. මොහු අවසාන ක්‍රීඩකයාය.

ඒ වන විට මෙම ක්‍රීඩකයාට ඔහුගේ මීටර් 10 000 සම්පූර්ණ කිරීම සඳහා වට දෙකක දුර ප්‍රමාණයක් ධාවනයේ යෙදිය යුතු විය. එතරම් උස මහතා නොමැති මෙම කෙසඟ ක්‍රීඩකයා පළමු වටය ධාවනයේ යෙදීම ආරම්භ කළේය.

“ඔහු තනිවම ධාවනයේ යෙදෙමින්” (facebook.com)

ක්‍රීඩාංගණයේ සිටි බොහෝ ක්‍රීඩාලෝලීන් කෝපාවිෂ්ට විය. ක්‍රීඩාලෝලීන් මෙම පරාජිත ක්‍රීඩකයා හට විවිධ අපහාසාත්මක දෑ පවසමින් හූ හඬ නැගූහ. ඒ අතරේ තවත් සමහර ක්‍රීඩාලෝලීන් බියර් කෑන් සහ තවත් විවිධ දෑ මෙම ක්‍රීඩකයා වෙතට විසි කළහ. එය සමස්ත ක්‍රීඩාංගණයක්ම, ක්‍රීඩාංගණයේ මධ්‍යයේ සිටින, එක් ක්‍රීඩකයෙකු කෙරෙහි සිය විරෝධය පාමින් සිටි අවස්ථාවක් විය.

නමුත් මෙම කුඩා මිනිසා ඉන් සැලුණේ නැත. අපහාසවලට හූ හඬට ඔහුගේ ධාවනය නතර කිරීමට නොහැකි විය. නිමා කළ යුතු වට දෙකෙන් පළමු වටය අවසන් කර දෙවැනි වටය ධාවනය කිරීම ද ඔහු විසින් ඇරඹුවේය. එම අවස්ථාවේ දී ප්‍රේක්ෂකාගාරයෙන් නැගී විරෝධය යම් තරමකට පහව යමින් පැවතුනි.

තවත් ටිකෙන් ටික මෙම තරගකරුවා ඉදිරියට ඇදෙන විට ඔහුට හූ හඬ නැගූ, අපහාස කළ, විවිධ දෑ ඔහු වෙත දමා ගසන්නට උත්සාහ කළ සියලුම දෙනා කෙමෙන් කෙමෙන් ඔහු වෙත ජය ඝෝෂා නැගීමට පටන්ගත්හ.

ඔහු සිය අවසාන මීටර් 100-150 ධාවනය කරන විට සමස්ත ප්‍රේක්ෂකාගාරයම නැගිට, උස් හඬින් ඔහු වෙත සහය පළ කළහ. අත්පොළසන් නැගූහ. බොහෝ දෙනාගේ දෙනෙතෙහි කඳුළු පිරී තිබුණි. ඒ අනුව සියලුම ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ මෙම කුඩා තරගකරුවා තරගයේ අවසාන රේඛාව පසුකළේය.

ඔහුට අවමන් කළ සියලුම දෙනාගේ ගෞරවය ඉන් මිනිත්තු කිහිපයකට පසු ලබා ගන්නට මෙම විශිෂ්ට තරගකරුවා සමත් විය. ඔලිම්පික් උළෙලේ මීටර් 10 000 ඉසව්වේ ජයග්‍රාහකයාටත් වඩා වැඩි අවධානයක් ලබා ගන්නට මෙම කෙසඟ තරගකරුවා සමත් විය.

ඔහු අන් කවරෙක්වත් නොව අපගේ කුඩා ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ට ක්‍රීඩකයෙකු වූ දිගු දුර දිවීමේ ශූර “මැරතන් කරූ” හෙවත් රණතුංග කරුණානන්ද මහතාය.

රණතුංග කරුණානන්ද

“කරුණානන්ද මහතා සහ ඔහුගේ බිරිඳ” (ada.lk)

රණතුංග කරුණානන්ද මහතා උපත ලබා තිබෙන්නේ 1936 මැයි 21 වැනි දිනයි. ගම්පොල ජිනරාජ පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සොල්දාදුවෙකි. දියණියකගේ සහ පුත්‍රයෙකුගේ ආදරණීය පියාණන් වූ කරුණානන්ද මහතා නිරතුරුවම දයාබර සැමියෙක් විය.

60 දශකයේ දී ශ්‍රී ලංකාවේ සිටි ජනප්‍රියම සහ හොඳම දිගුදුර ධාවකයා වූ කරුණානන්ද මහතා 1964 ඔලිම්පික් උළෙල සඳහා ද සුදුසුකම් ලබා ගත්තේය.

1964 ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 6 දෙනෙකුගෙන් යුතු ක්‍රීඩක සංඛ්‍යාවක් ජපානයේ ටෝකියෝ නුවරට ගිය අතර ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබුණේ හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පුත්, වෙඩි තැබීමේ ක්‍රීඩක, රවී ජයවර්ධන මහතා හටයි. (රවී ජයවර්ධන මහතා පසුගිය වසරේ දී අභාවප්‍රාප්ත විය).

තරගය

(ada.lk)

ප්‍රේක්ෂකයන් 60 000ක පමණ පිරිසක් එදින ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතර පිරිමි මීටර් 10 000 ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩකයන් 29 දෙනෙක් සහභාගී වී සිටියහ.

මීටර් 10 000 ඉසව්වේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ ක්‍රීඩකයන් වූයේ ඕස්ට්‍රේලියාවේ රොන් ක්ලාර්ක් (රොන් ක්ලාර්ක් ක්‍රීඩා කරන අවධියේ දී ඔහු විසින් දුර දිවීමේ ලෝක වාර්තා 17 ක් හිමිකර ගැනීමට සමත්වී තිබේ. එයට අමතරව ඔහු 2004-2012 දක්වා කාලයේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ පුරපති ලෙසින් ද කටයුතු කළේය), ඇමරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් සහ ටියුනීසියාවේ මොහොමඩ් ගම්මූදී ය.

බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදිම මෙම ක්‍රීඩකයන් තිදෙනා මුල් ස්ථාන තුන හිමිකරගත් අතර බිලී මිල්ස් විසින් රන් පදක්කමත් (28:24:4), ටියුනීසියාවේ මොහොමඩ් ගම්මූදී විසින් රිදී පදක්කමත් (28:24:8) සහ රොන් ක්ලාර්ක් විසින් ලෝකඩ පදක්කමත් (28:25:8) හිමිකර ගැනීමට සමත් විය.

කරුණානන්ද මහතාට මීටර් 10 000 සම්පූර්ණ කිරීමට මි.32 ත.21 ද.2 ක කාලයක් වැයවී තිබුණි. එදින කරුණානන්ද මහතා තරගයට සහභාගී වූයේ මද අසනීප තත්වයක් ද සමඟින් වීම විශේෂ කරුණකි. තරගයෙන් අනතුරුව ප්‍රකට ජපාන මාධ්‍යවේදී හරුවෝ සුසුකි සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේ දී කරුණානන්ද මහතා මිල කළ නොහැකි වචන කිහිපයක් පැවසුවේය.

“ඔලිම්පික් උළෙලෙහි අර්ථය වන්නේ සහභාගී වීමයි. ජයග්‍රහණය කිරීම නොවේ. (Not to win, but to take part). මම මීටර් 10 000 ඉසව්ව වෙනුවෙන් සහභාගී වුනා. මම ඒ ඉසව්ව අවසන් කළා.”

කරුණානන්ද මහතා එසේ කීය.

කරුණානන්ද මහතා ජපානයේ ඇතුළු ලෝකයේ බොහෝ රටවල මාධ්‍යවල ප්‍රමුඛ මාතෘකාවක් ද වී තිබුණි. එම මහතාගේ ධෛර්යවන්ත බව සිය අනාගත පරපුරට ඉගැන්වීම සඳහා ජපානයේ 5 ශ්‍රේණියේ පෙළපොතෙහි “Courage and heart” ලෙසින් මෙම සිද්ධිය අලලා පරිච්ඡේදයක් (එම පෙලපොතෙහි පළමුවැනි පරිච්ඡේදය) ඇතුලත් කිරීමට ද ජපනුන් ක්‍රියා කළෝය.

මීටර් 10 000 ඉසව්වේ රන් පදක්කම් ලාභී බිලී මිල්ස් ද ඔහුගේ ගෞරවය අපගේ පුංචි දිවයිනේ කරුණානන්ද මහතා වෙත පුදකරමින් පැවසුවේ තරගයේ නියම ජයග්‍රාහකයා කරුණානන්ද මහතා බවයි.

මව් බිමට පැමිණීම

ඔලිම්පික් උළෙල නිමා වී ශ්‍රී ලංකාවට පැමිණි විට ඒ මහතාට ඉතා හොඳ පිළිගැනීමක් ලැබුණි. ඔහුගේ නමින් ක්‍රීඩාංගණයක් ඉඳිකිරීමේ කසුකුසුවක් ද පැවතුනි. නමුත් එම සියලුම කාරනා වචනවලට පමණක් සීමා වූ අතර බලධාරීන් විසින් කරුණානන්ද මහතා වෙනුවෙන් කිසිදු යුතුකමක් ඉටු නොකරන ලදි.

නමුත් ඒ කිසිවකින් නොසැලුණ කරුණානන්ද මහතා දිගටම යුධ හමුදාවේ සේවයේ යෙදෙමින් ක්‍රීඩා කටයුතුවල ද නිරත විය.

මරණය

1975 වසරේ දී කරුණානන්ද මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ජපානයේ පුරවැසිකම සඳහා ආරාධනාවක් ලැබුණි. ඒ මහතාට ජපානයේ ඉහළම රැකියාවක් ද හිමි විය. නමුත් අවාසනාවකට මෙන් ඔහු සහ පවුලේ උදවිය ජපානය වෙත යාමට සති දෙකකට පෙරාතුව ඒ මහතාගේ මිනිය නාමල් ඔය ජලාශයේ තිබී සොයාගැනුනි.

එය මිනීමැරුමක් ද යන සැකය කිසි දිනෙක පහව නොගිය අතර කාලයත් සමඟින් යට ගිය සිදුවීමක් විය. ඒ මහතාගේ අභාවයෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයන් බොහෝ දුක්ඛිත ඉරණමකට මුහුණ පෑ නමුත් මේ වන විට ඔවුන් යහපත් ජීවිත ගතකරමින් සිටීම සතුටට කරුණකි.

ඒ කෙසේ වූවත් නාමල් ඔය ජලාශයේ තිබූ එතුමාගේ මල සිරුර ගොඩගැනීමටවත් ශ්‍රී ලංකාවේ බලධාරීන් කාරුණික නොවූ අතර ජපනයේ කිමිදුම්කරුවන් පැමිණ මල සිරුර ගොඩගන්නා ලදි.

යම් හෙයකින් 1964 ඔලිම්පික් උළෙලේ දී කරුණානන්ද මහතා විසින් සිදු කළ ක්‍රියාව වෙනත් රටක ක්‍රීඩකයෙකු විසින්, ප්‍රධාන තරගාවලියක දී සිදු කළා නම් ඔහුට දක්වන සැලකිල්ල සහ ගෞරවය පිළිබඳ විස්තර කිරීම අවශ්‍ය නොවේ. ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ පවුල වෙත හෝ සැලකිය යුතු මට්ටමේ සැලකිල්ලක් දක්වා නොතිබීම අතිශයින්ම කනගාටුවට කරුණකි.

කෙසේ වෙතත් බලධාරීන්ගේ ක්‍රියාවලට රටක සිටින සියලුම පුරවැසියන් වගකිවයුතු නොවූවත් මෙවැනි සිදුවීම් පිළිබඳ වර්තමාන පරපුර සහ අනාගත පරපුර දැනුවත් වේ නම් කරුණානන්ද මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට සිදු වූ අසාධාරණකම් ඉදිරි අනාගතයේ දී හෝ අප රටෙහි අපගේ සහෝදරයෙකුට, සහෝදරියකට සිදු නොවනු ඇත.

කරුණානන්ද මහතා පිළිබඳව පවසන්නට තිබෙන්නේ ඔහු ඉතා විශිෂ්ට සහ සොඳුරු පරාජිතයෙකු යන්නයි.  

මූලාශ්‍ර

  1. yamu.lk
  2. ada.lk
  3. dailysports.lk
  4. silumina.lk  
  5. Funkyshehan2  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<