රබාඩාලගේ හිසට ඉහළින් හයේ පහර ගැසූ මොරටු පුත්‍රයා

506

පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගයක් වෙනුවෙන් තරග වදිනවා මා දකින්නේ 1998 වසරේ දී ය. අපි දකුණු අප්‍රිකාවට ගියේ ලෝක ශූරයින් ලෙස වුව ද දකුණු අප්‍රිකානුවන් අපට පෙරලා සැලකුවේ ලෝක ශූර කණ්ඩායමකට සලකන ආකාරයෙන් නොවේ. 

ක්‍රිකට් විස්තර විචාරයේ අසමසම හඬ පෞරුෂය හර්ෂ බෝග්ලේ

විස්තර විචාරක කුටියේ අති මනෝරම සුගම විචිත්‍ර බසක් ඔහුට හිමිය…..

එම තරගාවලියේ අප ප්‍රතිවාදීන්ට වඩා අඩි කිහිපයක් ඉදිරියට ගියේ ද නැවත ගව් ගණනාවක් පස්සට විසිවන්නට දකුණු අප්‍රිකානුවන් ලෝක ශූරයින් හොඳ හැටි බැට දුන් හැටි මට හොඳ හැටි මතකය. ඒ 1998 වසරේ කෑ පහරවල්වල සැර ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ සංචාරයක් කරන සෑම අවස්ථාවක දී ම නැවත නැවතත් මතු වී යන සැටි මට දැනුදු සිහි වේ. කෙටියෙන්ම කියතහොත් දකුණු අප්‍රිකාව අපට අමාරු තැනකි.

2019 වසරේ මුල නැවත වතාවක් අපි දකුණු අප්‍රිකාවට යන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් නොවේ. නවක නායකයෙකු සමග ජ්‍යේෂ්ඨයින් සහ නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ සංකලනයකින් මුසුව දේදුනු දේශයට ගිය ශ්‍රී ලංකා සංචාරක නඩයට කිසිවෙකු හෝ ජයග්‍රාහී ලංසුවක් තැබීමට කැමැත්තක් දැක්වූවා දැයි මම සැක පහළ කරමි. නමුත් කිසිවෙකු නොසිතූ පරිද්දෙන් හිස එසවූ ශ්‍රී ලංකා කණ්ඩායම ඩර්බන්හී කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයට එක්ව සිටි ප්‍රේක්ෂකයින් පමණක් නොව ලොව පුරා ක්‍රිකට්ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබුවෝය. 

එදා කුසල් පෙරේරා දකුණු අප්‍රිකානු පන්දු බලඇණිය සුනුවිසුනු කරද්දී තවත් සුවිශේෂී චරිත කිහිපයක් ඉස්මතුවනු අපට දැකගත හැකි විය. කුසල්ගේ අනභිභවනීය ප්‍රහාරයට යටින් හාහාපුරා කියා ශ්‍රී ලංකා වරම් දිනූ ඕෂද ප්‍රනාන්දු සහ ලසිත ඇඹුල්දෙනිය වැන්නන් මෙන්ම පෙර තරගාවලියක දී ටෙස්ට් වරම් දිනූ විශ්ව ප්‍රනාන්දු වැන්නෙකුගේ ද දස්කම් දිලිසෙමින් තිබුණි. 

විශේෂයෙන්ම නොම්මර තුන පිතිකරුවා ලෙස පැමිණි ඕෂද ප්‍රනාන්දුගෙන් අපි නිතර දෙවේලේ කියන්නා වූ දේශීය මට්ටමේ පිතිකරුවා සහ ජාත්‍යන්තර මට්ටමේ පිතිකරුවාගේ වෙනස දැක්කේ නැත. සජීවී, පන්දුව ඉපිලී එන දකුණු අප්‍රිකානු තණතිලිවල බොහෝමයක් ඉන්දියානු උපමහද්වීපයේ පිතිකරුවන් කරන වරද ඔහු කලේ නැත. ඔහු හැකි සෑම විට පන්දුව නිදැල්ලේ යැව්වේය. හැකිතාක් පන්දුව තමා වෙතට එන්නට ඉඩ දී පන්දුවේ දෝලනයට ඉඩ දී පහර එල්ල කළේය. 

​ප්‍රබල ඉන්දියානුවන් දණගැස්වූ නවසීලන්ත වික්‍රමය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ප්‍රධාන පෙළේ කිසිදු…..

ඕෂද එවර දකුණු අප්‍රිකාවට ගියේ ශ්‍රී ලංකාවේ දේශීය තරගාවලියේ සුවිශේෂී දක්ෂතා කද බැඳගෙනය. ඔහු 2018/19 තරගවාරයේ තරග නමයක් තුළ ශතක හයක් සමඟින් ලකුණු 1181ක් රැස් කළේය. ඒ ඉනිමක ලකුණු 73.81ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහු දේශීය තරගමාලවක ලකුණු දහසකට ළඟා වූ පළමු වතාව එය නොවූ අතර ඊට පෙර වසරේ දී ද ලකුණු දහසකට කිට්ටු වන්නට ඔහුගේ පිත්තෙන් වාර්තා වී තිබුණි.

දේශීය තරග පිටියේ ඕෂදගේ දස්කම් හරියටම ඔහුගේ පාසල් තරගවාරයේ අවසාන භාගයට බෙහෙවින් සමාන ය. මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් ඔහු අවසන් තරගවාර දෙකේ දී ම ලකුණු දහස සම්පූර්ණ කළේ පාසල් මහා තරගයේ දී නොදැවුණ ලකුණු 129ක ඉනිමක් ද සමඟිනි. අවුරුදු දාහතෙන් පහළ සමස්ත ලංකා හොඳම ක්‍රීඩකයා වන්නට ලැබෙන්නෙත්, වයස අවුරුදු දහ අටේ දී කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා එක්වන්නට ලැබෙන්නේත් ඕෂද පාසල් පිටියේ දී දැක්වූ අසාමාන්‍ය දස්කම් නිසාවෙනි.

ඩර්බන්හී පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ඩේල් ස්ටේන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී යන විට ඕෂද ලබා සිටියේ ලකුණු 19කි. ඒ සඳහා ඔහු පන්දු 42කට මුහුණ දී තිබුණි. නමුත් වැදගත් වන්නේ කෙනෙකු ලබාගන්නා ලකුණු ප්‍රමාණය නොව ලකුණු රැස් කළ ආකාරය සහ මුහුණ දුන් පන්දු බලඇණියයි. ඒ බව තම මංගල ඉනිම හරහා ඕෂද මැනවින් ඔප්පු කළේය.

ඒ සඳහා කදිම උදාහරණයක් ගෙන එන්නේ ඉන්දියානු සුපිරි පිතිකරුවා සචින් තෙන්ඩුල්කාර්ය. ඉන්දීය පාසල් ක්‍රිකට් පිටියේ ශතක මැෂිමක් ලෙස නම් දරා සිටි සචින් නම් එකොළොස් හැවිරිදි දරුවා එක්තරා තරග සමයක දිගින් දිගටම විසි තිස් ගණන්වල දී දැවී ගියේය. සචින් තම පුහුණුකරුවා වූ රාම්කාන්ත් අච්රේකාර් වෙත ගියේ අසාර්ථක මානසිකත්වයකිනි. නමුත් සචින්ගේ ප්‍රවීණ පුහුණුකරුවාගේ මතය වූයේ වෙනකකි. 

“වැදගත් වන්නේ ඔබ ලකුණු රැස් කළ ආකාරය, ඔබ මුහුණ දුන් පන්දු යවන්නන් සහ පිටියේ තත්වයයි. ඔබ රැස් කළ ලකුණු සංඛ්‍යාවෙන් ඔබේ ලකුණුවල වටිනාකම සමහර විට වැසීයාමට පුළුවන්”

ඕෂද ඉනිම් දෙකේ රැස් කළ ලකුණු 19 මෙන්ම ලකුණු 37ත් එවන් අතිශය වටිනා ලකුණුය. පෝර්ට් එළිසබෙත් දෙවන ටෙස්ට් තරගයේ කුසල් මෙන්ඩිස් සමඟින් තෙවැනි කඩුල්ලට ගොඩ නැගූ සබඳතාවය දිගුවෙද්දී ඩර්බන් නුවර අතිශය සංයමයකින් ඕෂද එක් කළ ලකුණුවල නියම වටිනාකම ඔහු වෙත ලැබී තිබුණි.

පෝර්ට් එළිසබෙත් තරගය කඩුලු අටකින් ජය ගනිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සුරක්ෂිතභාවය ගැන මුල්ම වතාවට වසර කිහිපයකට පසු ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් පසු නැවුම් හැඟීමක් මෝදු වෙමින් තිබුණි.

ටෙස්ට් තරගාවලියේ සාර්ථකත්වය ඒ ආකාරයෙන්ම දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය වෙත ගෙන ගිය ක්‍රීඩකයින් කිහිප දෙනාගෙන් කෙනෙක් වන්නට ද ඕෂදට හැකියාව ලැබුණි

ජොහැන්ස්බර්ග් නුවර නිව් වොන්ඩරස් පිටියේ දී කගීසෝ රබාඩා, ලුන්ගි න්ගිඩිගේ පන්දු හයේ සීමාවට ඉහළින් යවද්දී මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන කෝඩුකාරයෙකුගේ ගති ලක්ෂණ ඕෂදගෙන් පෙන්නුම් කෙරුණේ නැත. අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී නොයන්නට ඔහුගේ නමින් අර්ධ ශතකයක් හෝ ශතකයක් අනිවාර්යයෙන්ම ලියැවී තිබුණි.

පාසල් සමයේ සිටම අවශ්‍ය තැන්වල දී සිය පා දඟපන්දුව හරහා යමක් කිරීමට ඕෂද පසු බැස්සේ නැත. මේ වන විටත් ඔහු පිතිහරඹය මෙන්ම පා දඟපන්දුවත් තව තවත් දියුණු කරගන්නට මාන බලමින් සිටින බව කියවේ.

හැම ඉරිදාම ගිය ඉරිදාම වාගේම වෙන්න

ඉකුත් ඉරිදා දිනය සෙසු ලෝකයට සාමාන්‍ය දිනයක් වුව ද ක්‍රීඩාලෝලී…..

2019 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕෂදට ස්ථානය අහිමි වන්නේ අත්දැකීම් මදි නිසාවෙන් බව තේරීම් කමිටුවේ අදහස විය. නමුත් ජාත්‍යන්තර තලයේ හැකියාවන් ඔප්පු කළ, අනාගතයට වැඩදායි ක්‍රීඩකයෙකු ඕෂද හරහා අප ක්‍රීඩාලෝලීන්ට පෙනේ. තමාට සුපුරුදු දක්ෂතා පෙන්වන්නට ඕෂදට හැකියාව ඇත්නම් ඕෂද යනු 2023 ඉන්දියානු උපමහද්වීපයට නැවත පැමිණෙන ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කෙරෙන කදිම ආයෝජනයක් බව කතා දෙකක් නැත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<