ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල වෙනස්කම්

2704

එළඹෙන මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (18) මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

නායකත්වයේ ගැටුම් අවසන්, ලෝක කුසලාන නායකයා තීන්දුයි

එළඹෙන මැයි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට්…..

කණ්ඩායමේ මෙහෙය වීමේ වගකීම දිමුත් කරුණාරත්න වෙත පැවරී ඇති අතර ඔහු ඒ සඳහා නිල වශයෙන් අනුයුක්ත කරනු ලැබුවේ ඊයේ (17) දිනයේ දීයි. ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව 5-0ක් ලෙස  දරුණු පරාජයකට මුහුණ දුන් අතර එහි දී තරග වැදුණු ශ්‍රී ලංකා සංචිතය හා සසඳා බලන විට මෙවර ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් රැසක් සිදුව තිබේ.

ශ්‍රී කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කලව ආශ්‍රිතව හටගෙන ඇති ආබාධ තත්වය නිසා පසුගිය දා පැවති තරගාවලි කිහිපයකම ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි වූ නමුත් මේ වන විට ඔහුගේ ආබාධ තත්වය සුව වී තිබෙන නිසාවෙන් ඔහුව කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටු නිලධාරීන් තීරණය  කර ඇත.

එසේම සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී ලහිරු තිරිමාන්න ශතකයක් වාර්තා කරමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් දිගු නිහැඬියාවකට පසුව නැවත වතාවක් ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් දිනා ගන්නට ඔහු සමත් වී ඇත.

ඊට අමතරව පා දඟපන්දු  යවන ක්‍රීඩකයින් වන ජීවන් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩර්සේ නැවතත් කණ්ඩායමට තෝරාපත් කරගෙන ඇති අතර ජීවන් මෙන්ඩිස් නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක් වන්නේ 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව වීම ද විශේෂත්වයක්.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලට ඉන්දියාවෙන් අනුග්‍රාහකයෙක්

ලබන මැයි මස 30 වැනිදා සිට එංගලන්තයේ පැවැත්වෙන ලෝක……

පසුගිය වසර දෙක පුරාවට ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායම නියෝජනය නොකළ මිලින්ද සිරිවර්ධන ද නැවත වතාවක් කණ්ඩායමට කැඳවීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. මෙන්ඩිස් හා සිරිවර්ධන දෙදෙනාම නිමා වූ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ දස්කම් මෙම සංචිතයට ඔවුන්ව තෝරා ගැනීමට හේතුවන්නට ඇත.

වේගපන්දු යවන්නන්ගේ බලඇණිය සවිමත් කිරීම වෙනුවෙන් ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් සංචිතයට ඇතුළත් කරගන්නා විට වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ඉසුරු උදාන හා තිසර පෙරේරා සංචිතයට තෝරාපත් කරගෙන ඇත.

මෙතෙක් කලක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට ඔහුගේ ස්ථානය අහිමි වී තිබෙන නිසාවෙන් කඩුල්ල පිටුපස වගකීම කුසල් ජනිත්ට හා කුසල් මෙන්ඩිස්ට පැවරෙනු ඇත.

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමේ එක්දින ක්‍රිකට් තරග 84කට සහභාගී වී ඉන් තරග 23ක් ජයග්‍රහණය කරන විට තරග 55ක් පරාජයට පත්ව තිබේ. ඊට අමතරව තවත් තරග 5ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වෙද්දී තවත් එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන්ව ඇත.

අද (18) දිනයේ දී නම් කරනු ලැබූ ශ්‍රී ලංකා සංචිතය, ස්කොට්ලන්ත තරගාවලියට හා ලෝක කුසලාන කුසලානය වෙනුවෙන් දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම සතියක පමණ කාලයක් දඹුල්ලේ දී විශේෂ පුහුණු කඳවුරක් සඳහා සහභාගී කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 15 සමඟ තවත් අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනෙක් ස්කොට්ලන්තය හා එංගලන්තය බලා පියාසර කරන අතර ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත හා වනිඳු හසරංග යනු එම අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනායි.

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලහිරු තිරිමාන්න, අවිශ්ක ප්‍රනාන්දු, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්‍රදීප්, ජෙෆ්රි වැන්ඩසේ.

අතිරේක ක්‍රීඩකයින් – ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග

කෙසේ නමුත් මේ දක්වා ප්‍රකාශයට පත්කර ඇති ලෝක කුසලාන සංචිතයන් මැයි මස 23 වැනිදා දක්වා ICCයේ අවසරයකින් තොරව වෙනස් කිරීමට හැකියාව සහිත අතර නවසීලන්තය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව හා එංගලන්තය මේ වන විට ඔවුන්ගේ ලෝක කුසලාන සංචිත නම් කර අවසන්.

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරග කාලසටහන

  • ජුනි 1  – නවසීලන්තය – කාර්ඩිෆ්
  • ජුනි 4  – ඇෆ්ගනිස්ථානය – කාර්ඩිෆ්
  • ජුනි 7  – පාකිස්තානය – බ්‍රිස්ටල්
  • ජුනි 11  – බංග්ලාදේශය – බ්‍රිස්ටල්
  • ජුනි 15  – ඕස්ට්‍රේලියාව – ඕවල්
  • ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්‍රීට්
  • ජූලි 1  – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්‍රීට්
  • ජූලි 6  – ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<