වාර්තා පිට වාර්තා තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාවට බැට දෙති

2879

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (16) සමත් වූයේ දෙරට අතර තිබෙන වසර 18ක ක්‍රිකට් ඉතිහාසයේ තරග වාර්තා රැසක් අලුත් කරමිනි. කෙසේ නමුත් එක්දින තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේ 2-1ක් ලෙස තරගාවලිය අවසන් කරමිනි.

මන්දානගේ පිතිකරණයෙන් ඉන්දියාවට පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට්…

කටුනායක නිදහස් කලාප පිටියේ පැවති මෙම තරග සඳහා ඉන්දීය කණ්ඩායම අවතීර්ණ වූයේ ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිවයි. කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 5ක් දැවී ලකුණු 253ක් ලබා ගන්නා ලදි.

ඉන්දීය නායිකා මිතාලියා රාජ්‍ ශතකයක් සමඟින් ලකුණු 125*ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වූවාය. ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 257ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළ අතර එහි දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 115ක් ලබාගෙන ජයග්‍රහණයේ නියමුවන් බවට පත් විය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට උදේශිකා ප්‍රබෝධනී සමත් වූයේ ජෙමීමා රොද්‍රිගස් පන්දු 2ක් තුල දවා ගනිමිනි. ඉන්පසුව දෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ වමතින් පිතිකරණයේ නිරත වන ස්ම්රිතී මන්දානා හා දකුණතින් පිත්ත හසුරුවන මිතාලියා රාජ් ලකුණු 101 දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් බිඳ වැටි තිබූ ඉන්දීය ඉනිම ගොඩනංවන ලදි.

4 පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබාගෙන අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් මන්දානා, චමරි අතපත්තුගේ පන්දුවකට ඉන්දීය දෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය. මන්දානා එම ලකුණු ප්‍රමාණය රැස්කර ගැනීම වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 62ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය දන් දෙති

චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන ඉන්දීය පන්දු යවන්නියන්ට හිසරදයක් වෙමින් සිටිය දී අහිමි..

මිතාලියා රාජ් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබා ගත් 7 වැනි ශතකය අද දිනයේ දී ලබා ගත්තාය. පන්දු 143ක් පුරාවට වර්ණවත් වූ ඇයගේ ඉනිමට 4 පහර 13ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය. මිතාලියා එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කරද්දී, ඉන්දීය මැදපෙළ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ දැක්වූ ක්‍රීඩා විලාසය නිසා ඉන්දීය ඉනිමේ වැඩි බරපැනක් පැටවුනේ මිතාලියාගේ කරමතටයි.

කෙසේ නමුත් දීප්ති ශර්මා කණ්ඩායමේ නායිකාව හා එක්ව ලකුණු 253ක් වැනි හොඳ ලකුණකට ඉන්දීය කණ්ඩායම රැගෙන ගියාය. නොදැවී ක්‍රීඩා කළ මිතාලියා ලකුණු 125*ක් ලබා ගන්නා විට දීප්ති ශර්මා ලකුණු 38ක් ලබා ගත්තාය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව කලකට පසු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීම නිසා තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙත ලබා ගැනීමට හැකි විය. වමතින් පිතිකරණයේ නිරත වන හසිනි පෙරේරා 4 පහර 4ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 45ක් එක් කරන ලදි.

නායිකා අතපත්තු මැදපෙළ පිතිකාරිනියන් හා එක්ව ශ්‍රී ලංකා ඉනිම සෙමින් සීරුවේ ගොඩනැංවූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා මැදපෙළ පිතිකාරිනියන් වන අනුෂ්කා සංජීවනි හා නිලක්ෂි ද සිල්වා යන ක්‍රීඩිකාවන් සහය විය. 4 පහර 13ක් හා 6 පහර 4ක් සමඟ ලකුණු 115ක් ලබාගත් අතපත්තු, දයාලන් හේමලතාගේ පන්දුවකට දැවී යාමට පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව බිඳ නොවැටී තබා ගැනීමට ශ්‍රී ලංකා මැදපෙළ හා පසුපෙළ පිතිකාරිනියන් වගබලා ගත්හ.

අවසන් පන්දුවාර කිහිපය තුල පිටියට පිවිසි කවීෂා දිල්හාරි පන්දු 7ක් තුල ලකුණු 12ක් ලබා ගනිමින් අවසන් ලකුණු කිහිපය ශ්‍රී ලංකාවට ලබා දුන්නාය. පන්දු යැවීමේ දී ජූලාන් ගෝස්වාමි හා මන්ෂි ජෝෂි අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියාය.

මේ තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් දෙවනුව පන්දුවට පහර දී හඹා ගිය සාර්ථකම වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට සමත් වූ අතර ඉන්දීය කාන්තා කණ්ඩායමක් එක්දින ක්‍රිකට් තරගයක දී ශ්‍රී ලංකාව හමුවේ අද දිනයේ දී පරාජය වූයේ වසර 5කට පමණ පසුවයි. අවසන් හා පළමු වරට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ඉන්දීය කාන්තා කණ්ඩායමක් හමුවේ එක්දින ජයක් ලබාගෙන ඇත්තේ 2013 වර්ෂයේ පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දීයි.

ඉන්දියාව – 253/5 (50): මිතාලියා රාජ් 125*, ස්ම්රිතී මන්දානා 51, දීප්ති ශර්මා 38, චමරි අතපත්තු 1/25, නිලක්ෂි සිල්වා 1/36, කවීෂා දිල්හාරි 1/37.

ශ්‍රී ලංකාව – 254/7 (49.5): චමරි අතපත්තු 115, හසිනි පෙරේරා 45, ජූලාන් ගෝස්වාමි 2/39, මන්ෂි ජෝෂි 2/43.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 19 වැනිදා කටුනායක නිදහස් කලාප පිටිය දී පැවැත්වෙන අතර එම තරගය ද ඔබ වෙත සජීව ලෙස රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<